අද විශේෂ දවසකි.
ඩොරියන් ග්‍රේ යනු මා මහත් සේ ප්‍රිය කරන ඔස්කා වයිල්ඩ් විසින් ලෝක සාහිත්‍යයට දායාද කළ විශිෂ්ට නව කථාවකි. එහි මූලික කතාව මගේ අද දින ප්‍රස්තූතයට එතරම් අදාළ නො වූවද එහි එන ‘සදාකාලික තාරුණ්‍යය’ පිළිබඳ සංකල්පය මගේ හොඳම මිතුරා හා සම්බන්ධ නොකර සිටීම මට කළ නො හැක්කකි. ඔහු සාත්‍ර හෝ කැමූ හෝ හෙස ගේ පොත් තුළ ද බුද්ධ ගේ ඉගැන්වීම්වල ද අපට හමුවන සොර්බා ය. දුර ගමනක් යද් දී බස් රිය මඟ කැඩුණු විට ‘ඉළ ඇදෙන තුරු’ සිනාසීමේ ඇති වැදගත්කම ගැන ද මිත්‍රත්වය තුළ තරහවීමට ඇති පරම අයිතිය ගැන ද මට කියා දී කිසිදා මා සමඟ තරහ නො වූ මිතුරා ය.
විපතේ දී කිසිදා අත් නො හරින සතුටේ දී අප වැළඳ තුටු කඳුළු වගුරන අසීමිත සගයා ය.
අද ඔහුගේ උපන් දිනය යි.
ඔහුගේ වයස ගැන අප එතරම් කල්පනා කළ යුතු නැත. මන්ද, ඔහු සදාකාලික තාරුණ්‍යයට හිමිකම් කියන බැවිනි.
ධනුෂ්ක, ඔබට ආයු බෝ වේවා!
අහසක් දුටිමි ඉර හඳ උහුලනු දුටිමි
පොළොවක් දුටිමි අහසට දිය දෙනු දුටිමි
බිඟුන් දුටිමි බිඟු වෙත මල් එනු දුටිමි
හිතක් දුටිමි එහි දහසක් නෙත් දුටිමි
කැලයකි සකි එහි මල් ඇති පරව යති
ගඟුලකි සකි එහි දිය ඇති සිඳී යති
මිනිසුන් එති කල ආ කල නික්ම යති
බිතු සිතුවම් ඒ ලෙස පිටු නොපාවිති
උල්පතටත් දිය දෙන අදරැති පෙමිනී
සඳ රැස් විඳ සඳ නො විඳින සහතොසිනී
මල් සුවඳින් මුල් පසිඳින මිතු සඳුනී
තොප සොඳ බස් අප සවණත රස පැමිණී
සොයා සොයා තතු විමසා යන ගමනේ
පියා හඹන නෙත් වෙන මානෙක රැඳුණේ
ඉතින් නුඹට නුඹ හමුවන මතු එදිනේ
ඇසින් තුටු කඳුළු වගුරමි සකි සඳුනේ
26/03/2012
(දරන්නට බැරි එකම දෙය
ඔබ නො හෙළනා කඳුළ යි.)
තණ පතක් පා අගින් එසවෙයි
පිනි බිඳට මුදු වදන් මුමුණයි
ඒ කුඩා පිනි බිඳත්
වැහි කෝඩයක පසුවදන යි....
රැයක් සිහිනෙක ඇහැරෙයි
ඇසිපිය පවා නොසැලෙයි
අඹ මලක් බිමට බැස
තාරකා එළි මතින් ඇවිදියි
වලාකුළු සිත හෙමින් බරවෙයි
යන තැනක් නො කියාම නික්මෙයි
දුර ඈත කඳුයාය
පෙඟෙන්නට දුක් කඳුළු වගුරයි
නො හඬා හිඳුම කඳුළයි
මලක අරුමය පින්නයි
සඳට දුක හිතුනාට
රැයක දිනුම ම නින්දයි
ජීවිතේ තව තරුණයි
මලට පිනිබිඳ කොඳුරයි
රැයක මරණය නම්
සුබ උදෑසන උපතයි
විතක් නම් තව පිරවෙයි
සිතක් තම් තව සවි වෙයි
තරුවක් දැවී වැටුණත්
යළිත් තව දහසක් උපදියි
20/03/2012
පෙම ම පතමින් ප්‍රේමයෙන් සියොළඟ වෙලී
සිය ගණන් අවුරුදු ගණන් ඔබ පෙම් කළා වෙද යළි යළී
පණ තරම් සේ මිටින් ගෙන බඳට ම ඇලී
පෙම් සිතුම් නම් නොම සිඳෙන උල්පත් සරී
ඉඳ හිටෙක ඔය පෙම් රැඟුම් දැක කිතිකැවී
මල්සරා වුව මුවා වෙන්නැති පෙමට පැරදී විළි වැදී
දඩ කෙළියෙ යන රජුන් ඈ දැක වසඟ වී
විද්ද මල් හී විසුණු කෙරුවෙද බිය නො වී
හිමි ගොසින් යුධ වැදී එනතුරු ඉන්නැතී
වන හිසින් සඳ මුදුන් වන විට සියොළඟින් දුක් ගන්නැතී
නොවේ නම් ඈ මල් ගොතා පළඳින්නැතී
මල් සුවඳ ළඟ සීහසුන් පරදින්නැතී
පෙමින් බැඳි උන් යුගෙන් යුග මෙහි එන්නැතී
ප්‍රේමයට දිවි දෙන පිණිස හිස අත් තබා දිවුරන්නැතී
සෙල් මුවා ලොව පෙම් සැතින් ජය ගන්නැතී
බැරිව ගිය තව බොහෝ සිත් ගල් වෙන්නැතී
08/03/2012
අනුරාධපුරය
සියල්ල නිහඬ ය. ඒ නිහැඬියාව බිඳෙන්නේ කලා වැවට තවත් දරා ගනු බැරි දියවර ඉසිහින් දියරැළි බවට හැරී රළපනාවෙහි වදින හඬිනි. අහස් දිය ද මහී කත ද එක්ව ප්‍රවේශමින් වියන ලද රිදී පැහැසේද දිය සළුව සුළඟෙහි දඟයට හසුවී ලෙල දෙයි. හැම රැළිත්තක් ම එකම රටාවකට...එකම අයුරින් නැවී...බෙදී...ලොකු මාළුවෙකු ඉඳහිට දිය කළතන්නේ ‘ග්ලබ්-ග්ලබ්’ හඬිනි. සුදු දුඹුරු පැහැ උකුස්සන් දෙපළ විටෙක අහස වෙත නැගෙමින් ද විටෙක දියට නැමුණු අත්තක ට බර වෙමින් ද දඩයම් පිණිස මාන බලයි. ඉදින් ලොව කුරිරු බව නො දන්නා හෝ පාසලේ විද්‍යා පාඩමේ දී ඩාවින්ගේ ශක්තිවන්තයා පිලිබඳ න්‍යාය ගැන කියැවෙන කොටස අතර මැද නින්ද ගිය කම්මැලි මාළුවෙකු වේ නම් සිය රිදීවන් බඩවත මතට ඉර පරාවර්තනය වීමට ඉඩ හැර ඔවුනට බිලි වෙයි. වෑ කණ්ඩිය කෙළවර ඉහත්තාවෙන් කළු පාට තාර පාර ගලා යයි.
තඹුත්තේගම සිට බුල්නෑව , ගල්නෑව පසුකොට බලලු වැව ට පිවිසෙන තෙක් ම කිලෝ මීටර තිස් තුනක් වන මඟ දෙපස සැදෙන්නේ ඉර එළියට එකවර බිමට කඩා වැටෙන්නට ඉඩ නො දී අප මතට බිඳෙන් බිඳ පෙරෙන්නට බල කරන පළු, වීර, කුඹුක්, කොහොඹ ආදී තුරින් සැදි වියනකිනි. ධාතුසේන රජුගේ නැගණියක විසින් තනවනු ලදුව පසු කලෙක කලා ඔයට ඈඳනු ලැබූ බලලු වැව පසු කරත්ම ඔබ වෙළා ගන්නේ උකුස්සන් ද කොකුන් ද සර්කස් දන්නා මාළුන් ද නිවසන කලා වැව සිඹ හමන සුළඟ යි.
චූලවංශයට (නො එසේ නම් ජන ප්‍රවාදයට) අනුව දුටු ගැමුණු රුවන් වැලි මහා සෑය තැනුම අරඹා අතරමැද මිය ගොස් පහළ වූයේ තව්තිසා දෙව්ලොවේ ය. තමන් සතු සියල් ධනය යොදවා මිනිසුන්ට ද පොළවට ද දිය දෙන්නට කලා වැව තැනූ ධාතුසේන රජ, පුතු කාශ්‍යප විසින් ඒ වැව් කණ්ඩියට ම තබා මැටි ගසා මරවනු ලදුව උපන්නේ කඩවර දෙවි හෙවත් කඩවර යක්ෂයා ලෙස ය. වැව ඉහත්තාවේ කුඹුක් ගස් හෙවණ නොමඳව ලැබෙන තැනක තනවා පුද පූජා ලබන කඩවර දේවාලයකි. කප් රුක්වල ද පහන් කණුවලද ගැට ගසන ලද ගිණිය නොහෙන තරම් භාර හාර ඔතා ඇති රතු රෙදිවල පැහැය දේවාල බිම වර්ණවත් කරයි. දේවාලයෙන් පිටත විවෘත මණ්ඩපයක ධාතුසේන රජු තෙදවත් බැල්මෙන් කලා වැව නිරීක්ෂණය කරයි. එළිමහනෙහි තැනින් තැන කපු මහතා ද තරුණන් කිහිප දෙනෙකු ද කතා බහකය.
පරම්පරාවකට ඉහතින් නම් කලා වැවේ සොරොව්වෙහි සිරවෙන රොඩු බොඩු, කඩවර දෙවියන් ට යැද කරන පිළිවෙත්වලින් අනතුරුව දිය යටින් පිහිනා ගොස් ඉවත් කරනු ලැබූයේ මේ දේවාලයේ දෙවියා* (නොහොත් කපුවා) විසිනැයි කියනු ලැබෙයි. දැන් සිටින දෙවියා ඒ කාර්යය ට නො එළඹෙයි.
කලා වැවට සැතපුම් කිහිපයක් එහායින් ඇත්තේ දුටුගැමුණූ -එළාර යුද්ධය පැවති විජිතපුරය යි.දැන් එතන පන්සලකි. දුටුගැමුණු ගේ සේනාව කඩු මුවාත් කළ ‘කඩු ගෑ ගල’ ද ඇත්තේ එහිය.
රාත්‍රිය සිය අඳුරු සෙවණැලි එළීම අරඹන විට කලා ඔය දෙසට ඇදෙන ඔබට අවුකන ග්‍රාමය හමුවෙයි. කලා වැව වාන් දමන විට වැඩි ජලය පිට කරන්නේ කලා ඔය හරහා ය.සුවිසාල ගසින් හෙබි ශුෂ්ක වනාන්තරය අතරින් පතර ඉඳහිට ජනාවාස ඇත. වම් පස ඇති තේ කඩ දෙක සහ මල් වෙළෙන්දන්ගේ එළිමහන් වෙළඳ බිම ට මුහුණ ලා ඇති කෙටි ගල් පඩි මතින් දකුණු පසින් ගල උඩට නැගෙන විට හමුවන්නේ අනිමිස ලෝචනයෙන් කලා වැව දෙස බලා අභය මුද්‍රාවෙන් හිඳින අවුකන බුද්ධ ප්‍රතිමාව යි. අතීත ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා කෞෂල්‍යය විදහා දක්වන අඩි 38 අඟල් 9 ක් උස අවුකන පිළිමය පස්වන සියවසේ දී තැනුණක් ලෙසට විශ්වාස කෙරෙයි. නෙළුම් පාදමෙහි උස ද සහිතව මෙහි උස අඩි 42 ක් ලෙස සැළකෙයි. ඉන්දීය ගාන්ධාර සහ අමරාවතී සම්ප්‍රදායන් හි ලක්ෂණ පෙන්වන ප්‍රතිමාව සම්පූර්ණයෙන් ම විසල් තනි කළු ගලක් මත සියුම් කැටයමින් නෙළා ඇත. සිවුර, සිරුරෙහි හැඩය මනාව මතුවන පරිදි ද සිවුරෙහි රැළි ඉසියුම්ව මතුවන පරිදි ද නිමවා ඇත. ධාතුසේන රජු විසින් කලාවැව තැනූ කාලයේ දී ම අවුකන පිළිමය ද නෙළන්නට අණ දුන්නේ යයි කියවෙන මුත් මෙය භරණ නම් අයෙකු විසින්කරවන ලද්දකැයි විශ්වාසයක් ද තිබේ. නමින් අවුකන වුව ද විසල් ප්‍රතිමාව අවුවෙන් සහ වැස්සෙන් රැකෙන්නට ගලින් සහ ගඩොලින් කළ අඩි 74 ක් උස අඩි 63 ක් පමණ පළල මණ්ඩපයක් තිබුණ බවට අවට නටඹුන්ව ඇති කුළුණු සහ බිත්ති දෙස් දෙයි.
කලා වැවේ ජන ශ්‍රැතියට අනුව අවුකන තැනූයේ භරණ නම් ශිල්පියෙකු විසිනි. මින් සැතපුම් කියිපයක් එහායින් රැස් වෙහෙර නමින් හඳුන්වන තැන ඇති මෙ වැනිම ප්‍රතිමාව නිමවා ඇත්තේ ඔහුගේ අයියණ්ඩිය විසිනි. තරඟයට ඇරඹුණු මේ කාරියෙහි වැඩ සම්පූර්ණයෙන් නිම වූ විට හූවක් කිව යුතු බවට එකඟ වී වැඩ ඇරඹුණි. මල්ලී අවුකන ප්‍රතිමාව නෙළා හූවක් කීවේය. අයියා ඒ වන විට වැඩ සම්පූර්ණ කර නොමැති බැවින් පැරදුණේ ය. රැස් වෙහෙර පිළිමය කළු ගලින් වෙන් කොට නැති අතර අවුකන ප්‍රතිමාවෙහි බඳු සිරස් පතක් ද එහි නැත. අසම්පූර්ණ බැවින් විශිෂ්ට නිර්මාණය ලෙස සැළකෙන්නේ අවුකන යි. කෙසේ වතුදු පුරා විද්‍යා ගවේශණවලට අනුව රැස් වෙහෙර පිළිමය තැනී ඇත්තේ අවුකන පිළිමයට සියවස් තුනකට පෙර එනම් ක්‍රි.ව. දෙවන සියවසේ ය.
අඳුර විනිවිද ප්‍රතිමාව දිදුළන්නේ ඒ වෙත එල්ලකොට ඇති කහ පැහැ විදුලි පහනක ආලෝකයෙනි. බෝධියේ පත් ද ඒ එළියෙන් රන් පැහැ වී දිළෙයි. කිසිවෙකුදු නො ගැවසෙන බෝ මළුව ද ප්‍රතිමා පරිශ්‍රය ද සන්සුන් නිහැඬියාවක ගිලී සැනහෙයි. ප්‍රතිමාව පා මුල සවස ආ සැදැහැවතියක විසින් පුදනු ලැබූ නෙළුම් මල් සහ ඉද්ද මල් කිහිපයක් අනිත්‍යයට දෙස් දෙමින් පර වෙමින් තිබෙනු පෙනෙයි. පහන් වැට එළි නිවා සිල්වත්ව නින්දට සැරසෙයි. පළඟැටි හා රැහැයි නාදය හැරෙන්නට අවුකන වනය නිසල ය. තුංග අවුකන බුදුහු නැගී හිඳ කලා වැව දෙස බලනුයේ, ඒ රැයේ පවා රැළපනාව මත සියවස් දහසයක ඓතිහාසික සංවේදනා ලියා තබන දිය රැළි දැක දිරි ගන්වන සුළු මඳ සිනා පාති.
06/03/12
ගල්නෑව-අනුරාධපුරය