Monday, May 20, 2013

සැමරුම




මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා 
උහුලමින් දිව ගිය.. 

කන්‍යාවන්ගේ තිසර පට ද
නොදරුවන්ගේ අතුණු බහන් ද
බොහෝ කලකට පෙර අඩක් සිඳලූ
මිනිස් පා කැබලි ද
භීතිය කඳුළින් පිස කෑ
වළං කටු කැබලි ද
තැනින් තැන විසිර ගිය

වරක් මහ ජනගඟක්
ඉකි හඬක් නොනඟාම
එකම සළකුණක්වත් නොතබාම
මහ රැයක කළපුවක
ගොළු බිහිරි කඳවුරක
සැඟව යනු පිණිස
නිහඬවම ඇවිද ගිය

මේ පාළු වෙරළ දිග....
සංග්‍රාම භූමියකැයි නම් ලද
එකම මිහිමව් කිරෙන් පණ ලැබුව
එක වණින් ලේ හලා
එකම ලෙය පරදවා ධජ නැගුව
මේ පාළු වෙරළ දිග....
‘විජයග්‍රහණය‘යි නම් ලද

එතැන් සිට ......
පොහොයෙන් පොහොය 
සඳ නැගෙයි
වෙසක් පොහොය ම 
සතරක් ගෙවෙයි

දහසක් මහා දිග රැයවල් කෙළවර
සදහටම මැකී ගිය
ලේ උනන මතකයේ
ගොහොරු කළු වෙරළ මත
සිනිඳු සුදු වැලි මැදෙයි
ඒ මතින් නෑඹූල්ව වියන ලද
ඉතිහාසයක් ඇඳෙයි

ඒ නැවුම් වෙරළ මත
නැවුම් මතකයක සළකුණු ඇඳෙයි
ඒත් ඒ පා ලකුණු නම් නොවෙයි
බරැති කළු බූට් අඩි
පැරණි කළු මතකයට
කිසිදාක නොගැළවෙන ශෛල මුද්‍රා තබයි
හුදෙකලා තල් මුලක හදවතක් පළාගෙන
සිහ නදින් ගිගුම් දී
කටු කම්බි කණු බසියි

තව වරක්...
එකම එක කටහඬක් 
පණැති එක හදවතක්
පාදවා ගනු පිණීස
නියපතින් සූරමින්...
සනුහරේ කා හටත් මඟහැරුණු
මිනිස් හදවත් දෙක තුනක්
වැළපෙමින් ඇවිද යයි

ඉතිං...
අපට ද අපේ දරුවන්ට ද
ගැළවීම වනු පිණිස
ඇඳිවතද ඉරා දමනු ලැබ
අපගේ ම වෛරයේ තිත්ත කාඩිය බොමින්
මාංශය ද රුධිරය ද බෙදා දුන්
උතුරු දිග මනුෂ්‍ය පුත්‍රයිනි දූවරුනි,

උර තබා පාපයේ කුරුසිය
දකුණු දිග කල්වාරිය
නගිනෙමි
වෛරයට කමටහන් දෙනු පිණිස
සසර මග ඇදි ඇදී
අතරමග නවතින
කෙසර පිරි බැතිමතුන්
අතර මැද 
ඇද වැටෙමි... ඇද වැටෙමි...

එතැන ...
මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
අලුත් අල්තාරයකි..
ඒ මත
සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.

May 2013

Photo Courtesy : JDS

6 comments:

  1. මහ බරට හිතට දැනෙනවා.... මේ කවිය බූන්දියෙ පළ වුණ වෙලාවෙ කියවද්දි දැණුනු හැගීම තාමත්.... තාමත් හරි බරයි හිතට....

    උර තබා පාපයේ කුරුසිය
    දකුණු දිග කල්වාරිය
    නගිනෙමි
    වෛරයට කමටහන් දෙනු පිණිස
    සසර මග ඇදි ඇදී
    අතරමග නවතින
    කෙසර පිරි බැතිමතුන්
    අතර මැද
    ඇද වැටෙමි... ඇද වැටෙමි...

    එතැන ...
    මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
    අලුත් අල්තාරයකි..
    ඒ මත
    සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.

    ReplyDelete
    Replies
    1. තවමත් ....

      එකම එක කටහඬක්
      පණැති එක හදවතක්
      පාදවා ගනු පිණීස
      නියපතින් සූරමින්...
      සනුහරේ කා හටත් මඟහැරුණු
      මිනිස් හදවත් දෙක තුනක්
      වැළපෙමින් ඇවිද යයි...

      එහෙව් හදවත් අසල දණ නමමි.
      ස්තූතියි තරුරසී!

      Delete
  2. සැමරුම් ජය ගොසින්
    බිහිරි වී ඇත දෙසවන්
    අන්ධ වී නැත ද දෙනුවන්
    දෑස් හැර බලනු කෙලෙසින්?

    හදවතෙහි රිදුමන්
    නොලියවෙයි කවියෙන්
    වචන නැති සුසුමෙන්
    හිතේ බර මෙහි තබා යන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර.
      ඔබේ රඟහල ට ගොඩ වුණා. අපූරුයි.

      Delete
  3. දරුවනට මා පියන්
    මාපියනට දරුවන්
    නැතිවූ අරුමයන්
    නගයි හඬ මහ හඬින්

    අළුත් වූ මතකයකි
    වේදනා සිතුවමකි
    ඉතිරිවූ ශේෂයකි
    පෙරා වැටුන කඳුලකි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි..

      Delete