Wednesday, July 31, 2013

ප්‍රියේ නුඹ ම.......!



මරණය ඇතැම් මිනිසුන්ව කාලයේ වැලි තලාව යට සඟවා දමයි. ඇතැම් මිනිසුන්ව සදාකාලික අමරණීය බවට ඔසවයි.   ඔහු මරා දමද් දී අප ළමයින් ය. ඒ අඳුරු රාත්‍රියෙන් පසු ඔහු ගැන දහසක් සටහන් ලියවී ඇත. තවත් දස දහසක් සටහන් ලියවෙනු ඇත. එබඳු සියලු සටහන් අතර දුහුවිලි කඳුළක් පමණක් වන මේ  සටහන ඔහු ව කිසිදා නොදුටු , එහෙත් 1989 දී ඔහුගේ මරණය අසා දුක සිතී හැඬූ කුඩා ළමයෙකු  වසර විසි හතරකට පසු ත් ඔහු ජීවත් වන බව අදහමින්  ලියා තබන්නකි.

ප්‍රේමය ඔහු තරම් දිව්‍යමය ලෙස සිත්තම් කළ, සිය පරිකල්පනීය සෞන්දර්යයේ මහිමාවෙන් ඉන්ද්‍රජාලයක් සේ අප බන්ධනය කළ අනෙකෙකු මා දැක නැත. අපට කලින් තරුණව උන් පරම්පරාවට ප්‍රේමයේ සෞන්දර්යය මායාවක් නොවන වග කියා දුන් ඔහු එයින් පසු උපන් , ඉදිරියට ද ඉපදෙන බොහෝ හදවත්වලට මනුෂ්‍යයෙකු තුළ තවත් මනුෂ්‍යයෙකු කෙරෙහි පහල වන්නා වූ ප්‍රේමය නම් වූ අපරිමිත හැඟීම ස්පර්ශ කොට විඳිය හැක්කක්ය යන විශ්වාසය දී, 1989 අද වැනි දවසක සමු නො ගෙනම ප්‍රේම පරාදීසයකට නික්ම ගියේය. ලක්ශාන්ත වරක් ලියූ පරිදි ඔහුට කොකා ගැස්සූ ගිනි අවිය හිමිකරුවා ද වරක් හෝ ඔහුගේ ගීතයකින් සැනසුනෙක් විය යුතුය.

අනේකවිධ ආර්ථික, සාමාජයීය, දේශපාලනික සංකල්ප තුළ ද මිනිසාගේ දිනෙන් දින පුද්ගලීකරණය වන සත්තාව තුළ ද ප්‍රේමය හුදු ෆැන්ටසියක් බවට රූපාන්තරණය වන , අනෙකා ආශාවේ වස්තුවක් ලෙස සිතා පරිභෝජනය කරන්නට ගැහැණුන්ට සහ මිනිසුන්ට බලකරන, ගැඹුරු මානව සබඳතා වෙනුවට තත්පරමය ප්‍රවණතා තුළ බුද්ධිමත් මිනිසුන් කැමැත්තෙන් දියව යන පශ්චාත් නූතන ලෝකයට, එබඳු ප්‍රේමයක පැවැත්ම යථාර්ථයක් බව සපථ කොට ලියා තබා ගිය අසීමිත මිනිසා ඔහු ය. 

'ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ....' යනුවෙන් සිතෙන්නට තරම් අපූර්ව පරිකල්පනයක් තිබුණු....

'පිච්ච මලින් සැදි ලෝකය අපටයි-ස්වප්න පරාදීසේ...සුරංගනාවියනේ...' යයි අමතන්නට තරම් සෞන්දර්යයකින් අනූන වූ...

'නඳුන් උයනයි ප්‍රේමයේ ඔබ-සඳුන් සිහිලයි ජීවිතේ...' යයි කියන්නට තරම් ප්‍රේමය කෙරෙහි වූ උත්තුංග විශ්වාසයක් තැබූ....

'මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...' යනුවෙන් ලියා 'ඒ නගරයේ' ප්‍රේමය ගැන කිසිවෙකුටත් යළිත් ලියන්නට යමක් ඉතිරි නොකළ...

'මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා...' යයි ලියා නාදල්ලක් මත සදහටම අනුරාගය තැවරූ...

'මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු -රහස් අහස් තලයට පවරා...' යයි කියන්නට තරම් සංයමයක් තිබුණු....

'කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී-පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ...
ජීවිතයට ඔබ අළුතින් එක් වී-මා ජීවත් කර සතුට ගෙනාවූ...' 
යයි ලියා ප්‍රේමයේ නිම නොවන බලාපොරෙත්තුව මායාවක් නොව යථාවක් බවට සපථ කොට නික්ම ගිය....

ඒ දිව්‍යමය ප්‍රේමය විශ්වාස කොට සැබවින් අත්විඳින්නට, ඔහුට මේ සා ප්‍රේම කරන්නට...  මට විශ්වාසය දුන්..

ප්‍රියේ නුඹ ම...

ඔව්...
ප්‍රියේ නුඹ ම!


31 July 2013

1 comment:

  1. මා දුටු සුන්දරම මිනිසා........සුන්දර අත්දැකීම් රාශියක් මා සතුව ඇත....මේ කුරිරු ලොවට නැවත නොපැමිනෙන්න.

    ReplyDelete