Saturday, November 16, 2013

ඉපැරණි ම සුපෙම් ලියවැල


නින්දෙන් පවා මහවැලි ගං දිය තාල කම් කළ 
සුන්දර සිපුම් ඉවසන ගලහ මඟ දිග තුරු වැල
කන්දක රහස් සඟවන හන්තාන, පණැති කඳු පෙළ
දුම්බර පවා ඇඬුවා අතිනත් ලිහුණු තැන්වල

අඳුරු මංපෙත් තණ මත, පිනි කැට සෙමින් වැතිරුණ
නුදුරු නාදන් සුසුමකි, හිල්ඩා බිමෙහි දැවටුණ 
නුහුරු ආදර පිය ගැට, සරසවි උයන ළඟ නිම වුණ 
සොඳුරු කඳු ගැටයක දෙව් මැඳුර කාගෙත් කෙම්බිම

වේදනා ඌලකින්, ජීවිතේ සඳ දිය වස්සන 
නෑ‍හෙනා තරමට, හෙමින් මහවැලිය ගැස්සෙන
පෑදෙනා විට රැයෙක, දිය මත අක්බාර් සිත්තම 
පීදුනා වළ ට ඉහළින්, සුන්දර ම අහසක ලස්සන

දෑස් සිය දහසක් ඉම්බ මල් ලිය කම් වැල
වෑස්සුණු ප්‍රේමය ගල් කණු පවා මත් කළ
රාස්සිගෙ අව් රැළි යට, තෙල් බැම්ම කෙළවර
රූස්ස ම සංහිඳ, ඒ ටී ශිල්ප රඟහල

අඩ විතකි කෙටි බිතු මත, ලඹ දෙන මතක අහුරකි
මහපොළ යනු ම සසරක අතර මඟ හිමිදිරියකි
මිතුරු මතකය ගල් කළ ඉපැරණි පොළොන්නරුවකි
සිංහයෝ උඹ තරමට හිනා ගැස්සූ කෙනෙක් තව නැති

පාරා කාලයේ වනපෙත, පාදා ගනිමි ජීවිතේ හදවත
සිඹිමි දම්-සුදු මල් ගස, ‘සිඹින වංගුව’ පතුළත
යාරා ගඟත් පසු කොට පෑරි පෑරී සැරුව මග තොට
පේරාදෙණිය ඔබ වන්, තුංග සුවිසල් ලොවක් තව නැත


13-11-2013





6 comments:

  1. ඇත්තටම ගොඩක් ලස්සනයි මල්ලි....

    ReplyDelete
  2. පේරාදෙණි සරසවිය ගැන ලියැවුණු ඉතාමත්ම සුන්දර කවියක්. මෙහි 'යාරා ගඟ' යනුවෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙන එකද? එය එසේ නම් මා කියන්න හැදුවේ, මුල් කවි කීපය කියවන බොහෝ දෙනාට පොදු අත්දැකීමක් කරගන්නට පුළුවන් වෙද්දි, අවසාන කවියෙන්, මේ කවි පන්තිය පෞද්ගලික වෙනවා. එය එසේ නොවිය යුතුය කියනවා නෙවෙයි, නොවුණා නම් මා කැමති බව කීමක් පමණයි.

    ReplyDelete
  3. ස්තූතියි තිසර. ඔව් . මේ ඒ යාරා ගඟ තමයි. ඔබේ අදහස අගය කරනවා.

    ReplyDelete
  4. අපේ මල්වැල නේද මේ..?

    ReplyDelete
  5. "නුදුරු නාදන් සුසුමකි, හිල්ඩා බිමෙහි දැවටුණ
    නුහුරු ආදර පිය ගැට, සරසවි උයන ළඟ නිම වුණ
    සොඳුරු කඳු ගැටයක දෙව් මැඳුර කාගෙත් කෙම්බිම"

    "ඉතාම සංවේදී ලෙස හදවතේ සියුම් තැන්වල රැඳී අමරණිය එහෙත් සැඟවුන මතකය හාරා අවුස්සා ඒ අමරණිය මතකයන් වෙනුවෙන් සංවේදී කාගේ උවත් , නෙතු අගිස්ස මොහොතකට බොඳ කරන්නට සමත් පදපෙලක් ".....ආදරණිය නිර්මාණයක්

    ReplyDelete
  6. Anonymous6/4/16 19:06

    "Magaheruna Athithaya...."

    ReplyDelete