අඳුර මිරිකා දෑතින්
සරමි ගොළු රඟමඬළ
සොඳුර ඔය හිස ගැවසි
කොඳ මල්ය
කුංකුම ය
තැන තැන විසුල
දුෂ්කර ම රිදුම මට දැනෙන්නේ
රත් කොකුම්
බොඳව ගිය
අඩ නළල් සඳින් නම්
මේ රැයට
මෙතැන් සිට කියන නම
තනිකම ද?
සත් සියක්
මදාරා පරසතු අතර
සත් වසක් සිල් නො බිඳ
තැනූ රන්වන් දෙවොල
සත් කඩක් වෙන්නට
මොහොතකට පෙර අසමි...
ඒ ඔබ ද?
අග්නි රංගයක කෙළවර
සිත විතැන් වීම යනු
අලෝලිත ඉඟියක් ම පමණ ද?
එපමණ ද?
එපමණැ'යි පවසන්න
එවිට පුලුවන් අපට
බිඳුණු අඩ සඳෙහි යළි
රත් පැහැය තවරන්න
සිත් ඇඟිලි තුඩු අගින්
ලාස්‍යය පුබුදන්න
මඟ හැරුණු
න්‍රිත්තාමය නිමේෂය
ප්‍රේමයෙන් කැඳවන්න
බැරිම නම්
මට හැකිය
කම්පිතව මිය යන්න.
22-06-2015
පරවුනත් මලක නො සිඳෙයි තුරු මුල් දැරූ දුක් කඳ
සිරකළත් සඳ ගිර’ගක කිරණ සඟවනු කෙලෙසද
පෙරඹරක පින්න අරගෙන රාත්‍රිය සැඟව යන කොට
පර නොවුණු කවි වස්සමි ඔබ ඇවිත් ඉන්න අහසට
අමුණා පෙඳෙන් පෙඳ ගෙන දැඩි කළ සුපෙම් විහඟුන්ට
සරනා මිසෙක සිත් ගැබ තව සුව වෙත් ද විඳගන්ට
මියෙනා ලොවක හැම දෙය පෙමත් අනියතැයි නො කියන්න
සිඳුණා වුනත් නියඟෙක ගඟකට හැකිද නවතින්න
නිල් දිය සරැලී නංවා හිම කැටි දියව ගලා යන
මල් අරන් දෑතට වසන්තය ඇවිදින් සිනාසෙන
මල් පෙති පරව එළඹෙන නිහඬ දවසක උදෑසන
සමුගත යුතු නොවෙද අප දෑසම තදින් වසාගෙන
පෙත්තෙන් පෙත්ත පීදෙන රුසිරු ජීවන මල්කම
ගෙත්තම් කළේ හෙමිහිට ප්‍රේමයේ හිතවත්කම
ඇත්නම් යමක් රැකගත් එක්ව ඇඳි ඒ සිත්තම
ඇත්තයි මියෙන මොහොතක ඔබ තමයි මගෙ වත්කම