Friday, February 3, 2017

නො පවතිනු වස්...




කන්දකට පෙම් බඳිමි
ආදරේදැයි පෙරළා නො අසමි
නින්දෙනුත් ගිරි හිස සිඹිමි
පෙම් බසින් දුර්ග මංපෙත් වසමි

අසිරිමත් උදයට ඇහැරෙමි
විසිරි පිනි මෘදු හාදු අහුලමි
කාගෙදැයි අයිතියක් නො දැන ම
හිස් කළ සිත් පැසෙහි ලා ගමි

මිහිදුම් දුමාරය තුළ දියවෙමි 
සිහිනෙක සැබෑවක පවතීද නො සිතමි
තුරුපත් සාද සර සරය වෙත වැද
තරු අඳුර සමග සව්දිය පුරමි

කන්දකට පෙම් බඳිමි
පෙම් රැහැන් වරපට මුදමි
නින්දෙනුත් ගිරි හිස සිඹිමි
නො පවතිනු වස්, ප්‍රේමයව පවතිමි


02-02-17



No comments:

Post a Comment