මගේ සත්‍ය අත්දැකීමක් වන මේ සටහන ලියවුණේ යුද්ධය නිමා වෙන්න කලින්.
නැගෙනහිර පළාතේ යුද්ධය නිමා වුණ බව නිවේදනය කළේ උතුර සම්බන්ධව එබඳු නිවේදනයක් කරලා රටේ බොහෝ දෙනෙක් රතිඤ්ඤා පත්තු කරලා කිරි බත් කන්න අවුරුද්දකට විතර කලින්. නැගෙනහිර පැවති යුද්ධය නිමා වෙන්න සති කිහිපයකට කලින් රූපවාහිනියේ කියූ ප‍්‍රවෘත්තියක් මාව මේ සිද්ධිය ඔබ සමග බෙදා ගන්න කියලා තල්ලු කළා.
සුපුරුදු පරිදි ඒ ප‍්‍රවෘත්තිය යුද්ධය හා සම්බන්ධයි. ඒක ඇහිලා මගේ හිත මොහොතකට නතර වුණා. ඊට පස්සේ වසර එකහමාරක් අතීතයට දිව ගියා. දෙදහසස් හත වසර ලංකාවේ සිවිල් යුද්ධයේ අති බිහිසුණු කාලයක්. එල්ටීටීඊ සංවිධානය විසින් වසා තිබු මාවිල් ආරු සොරොව්ව රජයේ හමුදා විසින් අත්පත් කරගත්තේ මේ කාලයේදී. මගේ මතකය අවදි වුණේ මාවිල් ආරු අයත් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන්. මුතුර් හා සාම්පූර් කියන ප‍්‍රදේශවල දරුණු සටන් ඇවිළුණු ඒ වෙලාවේ සරණාගත කඳවුරු වල කොටුවුණ පවුල් වලට උපකාර කරන්න එන්න කියලා කෙරුණු ඉල්ලීමක් මත අපි කණ්ඩායමක් දකුණෙන් නැගෙනහිරට ගියා.ඒක රාජකාරී ගමනක්.
සේරුනුවර කියන්නේ මාවිල්ආරු වතුරෙන් පෝෂණය වුණ මුතුර් වලට පහළින් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කෙළවර පිහිටි ගමක්. මේ ගමේ හිටියේ ගොවි පවුල්. ඔවුන්ගේ ජීවිත වලට, ගොවිතැනට ජීවණ ජලය වුණේ මාවිල් ආරු ගඟ. හරියටම ගොයම පීදෙන කාලෙදී සොරොව්ව වැහුවම ඔවුන්ගේ ජිවිත උඩු යටිකුරු වුණා. නැවත වතුර ලැබෙද්දි දුක් මහන්සියෙන් ණයවෙලා අස්වද්දපු කුඹුර වේලිලා කාෂ්ඨක පොළවේ පණ සුන්ව වැතිරිලා හිටියා. ත්‍රිකුණාමල නගරයේ නවාතැන් ගත් අපි උදේ හවස සේරුනුවරට ගියේ මේ සියල්ල හා යුද්ධයේ අනිවාර්ය කොටස් වන මල්ටි බැරල් සහ ආටි (Multi barrels and Artilleries) මැදින්. ඒ මුළු ප‍්‍රදේශයම යුද්ධය උදෙසා පාවිච්චි වුණා. ඒ ගමේ මිනිසුන් උපන් ගමේම සරණාගතයින් වෙලා අනාථ කඳවුරු වලට ගාල්වෙලා. පාසල තමයි ප‍්‍රධාන සරණාගත කඳවුර. ගෙවල් වල රාත‍්‍රියට නිදාගත්තොත් පහුවදාට නැගිටින්න පුළුවන්ද කියලා බයයි. කොටින්ම යුද්ධයේ සකලවිධ පීඩාවන් ඔවුන්ව වසාගෙන. දරුවන්ගේ පොත් පැන්සල් පවා නැතිවෙලා. ඔවුන් අකුරු ලිව්වේ චිත‍්‍ර ඇන්දේ නෑ. අපි ගෙනිච්ච පොත් සහ පාට දැක්කම ඔවුන් සතුටු වුණේ අහසේ තරු කඩලා ගෙනත් දුන්නා වගේ.
මම සේරු නුවරින් දුටුවේ ඔද සිඳුණු අභිමානවත් ජනසමූහයක ඛේදවාචකය. සියවස් ගණනාවක් ඔළුව කෙළින් තියාගෙන කශේරුව නොනමා මහපොළව සිය සවිය කරගත් මිනිසුන් හාල් කිලෝවකට තවත් කෙනෙකුට අතපානවා මම දැක්කා. ඇඳුම් කෑල්ලකට පොරකනවා මම දැක්කා. එතැන බිඳවැටී තිබුණේ ඔවුන්ගේ ජීවනෝපාය විතරක් නොවෙයි. වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා.. හැමදේකටම වඩා පාසල සහ අකුරු දරුවන්ට අහිමිවෙලා. ඔවුන්ගේ හෙට දවස කියාගන්න බැරි තරම් අවිනිශ්චිත වෙලා. සෙල්ලම් කරලා දුවපු පැනපු ක‍්‍රීඩාපිටියේ කාල තුවක්කු සවි කරලා. ඒ පුංචි දරුවන් තත්පරයෙන් තත්පරයට ඇහෙන පුපුරන සද්ද වලට බයේ ඇකිලෙනවා.
අපේ රාජකාරී කටයුතු කරපු සති කිහිපය තුළ අපි ඔවුන්ගේම පවුල්වල කොටසක් වුණා. ඔවුන්ගෙන් මා අත්දුටු ආදරය අප‍්‍රමාණයි. උයන්න සහල් තබා ගෙදර ලිපත් අහිමිවුණ ඒ මිනිස්සු තමන්ගේ කුසගින්න නිවාගන්න පුච්චපු රොටිය අපි එක්ක බෙදාගත්තා. ඒ තුළ තිබුණ මහා මනුස්සකම “ස්තූතියි“ කියන වචනෙට ලඝු කරන්න බැරි ඒ ආදරය ඉදිරියේ අපි මොහොතකට ගොළුවුණා.
හැම දිනකම අපි එකතුවෙලා විවිධ ක‍්‍රියාකාරකම් වල යෙදුණා. සෙල්ලම් කළා. මාසයක කාලයක් ගතවෙද්දි වෙඩි හඬට බයේ කථා නොකළ දරුවන් පවා එකතුවෙලා නාට්‍යයක් රඟ දැක්වූවා. තේමාව වුණේ සාමය. යුද්ධය හා වෛරය ඔවුන් සතු සියළු දේ ගිනි තබා තිබුණත් ඒ දරුවන් ඉල්ලූවේ සාමය. ප්‍රෙක්ෂකයින් වුණේ කඳවුරු වැසියන් හා අපි දෙතුන් දෙනා. කාෂ්ඨක පොළවේ වළගොඩැලි පිරි පිට්ටනියකට එකතුවෙලා ඒ නාට්‍යය නැරඹුව හැටි දැනුත් මතකයි.
දරුවන් අඩිය තියද්දි නැගුණ දුහුවිල්ල පවා පණ අදින මහ පොළවට ජීවය ගෙනාවා. නාට්‍යය අවසානයේදී කථා නායකයා සාමය වෙනුවෙන් මිය යනවා. ( ඒ ගමේ බොහෝ දෙනෙක් යුද්ධය නිසා මිය ගිහින්) එතැන රැස්වුණ තම තමන්ගේ අය ඇඬුවේ දුකට වගේම දරුවන්ගේ හැකියාවන් දැකලා සතුටට. තමන්ගේ පුංචි උන්ගේ ධෛර්යය, ජීවිතය ගැන තිබෙන බලාපොරොත්තු, දැකලා ඇතිවුණ සතුටට.
සුහද බව හරිම සුන්දරයි.. ආදරය උණුසුම්...නැවත හමුවීමේ බලාපොරොත්තුව ඊටත් වඩා නැවුම් ... ඒත්..සමුගැනීම ....හරිම වේදනාකාරියි. විශේෂයෙන් ඔබට අනෙකා කවදාවත් මුණගැහෙන්නේ නැතිවෙයි කියලා හිතෙනකොට...සේරුනුවරට "ආයුබෝවන්" කියද්දි දැනුණ හැඟම් ලියන්න මගේ වචන පොහොසත් නැතිවුණත් මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා. හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත් ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.
සේරුනුවර මතකය මගේ හදවතේ බිතු සිතුවමක් උණේ ඒ විදිහට...
දැන් රූපවාහිනී ප‍්‍රවෘත්තිය...
කාලතුවක්කු හා වෙඩිප‍්‍රහාර වලින් සේරුනුවර වැසියන් කිහිප දෙනෙක් හා දරුවෙක් මැරිලා......
...............................................................................................................................................
................................................................................................................................................
ආදරෙන් මට වරක් අත දික්කරපු ඒ දරුවා සාමය වෙනුවෙන් නැවත මියගිහින්...
මේ පාර එය නාට්‍යයක් නොවෙයි....
සේරුනුවර මතකය මගේ හදවතේ බිතු සිතුවමක් උණේ ඒ විදිහට...
දැන් රූපවාහිනී ප‍්‍රවෘත්තිය...
කාලතුවක්කු හා වෙඩිප‍්‍රහාර වලින් සේරුනුවර වැසියන් කිහිප දෙනෙක් හා දරුවෙක් මැරිලා......
...............................................................................................................................................
................................................................................................................................................
ආදරෙන් මට වරක් අත දික්කරපු ඒ දරුවා සාමය වෙනුවෙන් නැවත මියගිහින්...
මේ පාර එය නාට්‍යයක් නොවෙයි....
මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..
සාමය දිහා....!
ඇයි මේකට කවුරුවත්
ReplyDelete'ලස්සණයි අනේ'
කියල ලියා නැත්තෙ?
මේ අකුරු අතර තියෙන සංවේදීකම,
ReplyDeleteසංවේදි යැයි කියාගන්නා නායකයින්ට
නොතේරීමේ පාපය නිසා අද මාලතීගේ සටහන කියවා අඩන්නට සිදුව තිබේ.
වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා..
ReplyDeleteමගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා. හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත් ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.
ReplyDeleteReal life experiences are always powerful than the creation. It's a heartbreaking story. I'm still thinking what to say.
ReplyDeleteI never new you are such a sensitive. May be because I keep company you just for 3 months. I accidently found your blog via FB link.
ReplyDeleteOne of your old friend.
For the old friend,
ReplyDeleteThank you so much...Great if I could know you...but thanks again..
from Old friend
ReplyDeleteyou will meet me again if you accept my friend request in FB, sent few months/weeks ago !
Any way I will come to this blog from time to time. I like it ,nice work !
Hope you r doing well TC
:) thanks, but if it's a friend, nope !there's no room that I haven't accepted the request.Am doing perfectly well.thanks again.
ReplyDeleteTC
අදමේ අඩවිය චන්දිමා නංගිගේ FB එකේ තිබිලා අහම්බෙන් දැක්කේ. වෙලාව අරගෙන අනෙක් ඒවාත් කියවන්නම්. ගොඩාක් සංවේදී නිර්මාණ පෙලක් දැක්කා. මට මෙතෙක් මගහැරිලා තිබුනේ අපරාදේ කියල හිතුනා. යුද්ධයේ කුරිරු බව අපි අත්වින්දේ බොහොම අල්පයයි. ඒ පලාත්වල ජීවත්වෙච්ච පුංචි දරුවෝ තමයි මේ තත්වය වඩාත් අත්වින්දේ. ඔබේ අවසන් වදන් පේළිය තාමත් හිතේ රැව් පිළිරැව් දෙනවා.මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..........
ReplyDeleteThank you Chandi. Come again..
ReplyDelete