අළුතින්

Tuesday, June 15, 2010

.............................................



මසා දෙයි
කැඩෙන කැඩෙන වර
ම‍ගේ පාවහන්
දෙපා නැති
ඔහු



13/06/10

දැරීම



අහස
වැස්ස දරා ගන්නවා තමයි
ඒත්,
වැස්සට
අහස දරා ගන්න
බෑ



13/06/10

එතකොට මල් කතා.....




පිනි

බමරාට
භ්‍රමණයෙහි
ප්‍රමෝදය පිණිස
කේන්ද්‍රගත කළ
මලෙහි
වික්ෂෝපය





රැඩිකල් සමනළයා මලට කී කවිය

මගේ පාට
මා ළඟ
ඔබේ සුවඳ
ඔබ ළඟ
හැබැයි
රොන්සුණු මට
13/06/10

Friday, June 11, 2010

වන්දනාවක සටහන්


මගේ සත්‍ය අත්දැකීමක් වන මේ සටහන ලියවුණේ යුද්ධය නිමා වෙන්න කලින්.


නැගෙනහිර  පළාතේ යුද්ධය නිමා වුණ බව නිවේදනය කළේ උතුර සම්බන්ධව එබඳු නිවේදනයක් කරලා රටේ බොහෝ දෙනෙක් රතිඤ්ඤා පත්තු කරලා කිරි බත් කන්න අවුරුද්දකට විතර කලින්. නැගෙනහිර පැවති යුද්ධය නිමා වෙන්න සති කිහිපයකට කලින් රූපවාහිනියේ කියූ ප‍්‍රවෘත්තියක් මාව මේ සිද්ධිය ඔබ සමග බෙදා ගන්න කියලා තල්ලු කළා.

සුපුරුදු පරිදි ඒ ප‍්‍රවෘත්තිය යුද්ධය හා සම්බන්ධයි. ඒක ඇහිලා මගේ හිත මොහොතකට නතර වුණා. ඊට පස්සේ වසර එකහමාරක් අතීතයට දිව ගියා. දෙදහසස් හත වසර ලංකාවේ සිවිල් යුද්ධයේ අති බිහිසුණු කාලයක්. එල්ටීටීඊ  සංවිධානය විසින් වසා තිබු මාවිල් ආරු සොරොව්ව රජයේ හමුදා විසින් අත්පත් කරගත්තේ මේ කාලයේදී. මගේ මතකය අවදි වුණේ මාවිල් ආරු අයත් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන්. මුතුර් හා සාම්පූර් කියන ප‍්‍රදේශවල දරුණු සටන් ඇවිළුණු ඒ වෙලාවේ සරණාගත කඳවුරු වල කොටුවුණ පවුල් වලට උපකාර කරන්න එන්න කියලා කෙරුණු ඉල්ලීමක් මත අපි කණ්ඩායමක් දකුණෙන් නැගෙනහිරට ගියා.ඒක රාජකාරී ගමනක්. 
 
සේරුනුවර කියන්නේ මාවිල්ආරු වතුරෙන් පෝෂණය වුණ මුතුර් වලට පහළින් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කෙළවර පිහිටි ගමක්. මේ ගමේ හිටියේ ගොවි පවුල්. ඔවුන්ගේ ජීවිත වලට, ගොවිතැනට ජීවණ ජලය  වුණේ මාවිල් ආරු ගඟ. හරියටම ගොයම පීදෙන කාලෙදී සොරොව්ව වැහුවම ඔවුන්ගේ ජිවිත උඩු යටිකුරු වුණා. නැවත වතුර ලැබෙද්දි දුක් මහන්සියෙන් ණයවෙලා අස්වද්දපු කුඹුර වේලිලා කාෂ්ඨක පොළවේ පණ සුන්ව වැතිරිලා හිටියා. ත්‍රිකුණාමල නගරයේ නවාතැන් ගත් අපි උදේ හවස සේරුනුවරට ගියේ මේ සියල්ල හා යුද්ධයේ අනිවාර්ය කොටස් වන මල්ටි බැරල් සහ ආටි (Multi barrels and Artilleries) මැදින්. ඒ මුළු ප‍්‍රදේශයම යුද්ධය උදෙසා පාවිච්චි වුණා. ඒ ගමේ මිනිසුන් උපන් ගමේම සරණාගතයින් වෙලා අනාථ කඳවුරු වලට ගාල්වෙලා. පාසල තමයි ප‍්‍රධාන සරණාගත කඳවුර. ගෙවල් වල රාත‍්‍රියට නිදාගත්තොත් පහුවදාට නැගිටින්න පුළුවන්ද කියලා බයයි. කොටින්ම යුද්ධයේ සකලවිධ පීඩාවන් ඔවුන්ව වසාගෙන. දරුවන්ගේ පොත් පැන්සල් පවා නැතිවෙලා. ඔවුන් අකුරු ලිව්වේ චිත‍්‍ර ඇන්දේ  නෑ. අපි ගෙනිච්ච පොත් සහ පාට දැක්කම ඔවුන් සතුටු වුණේ අහසේ තරු කඩලා ගෙනත් දුන්නා වගේ.

මම සේරු නුවරින් දුටුවේ ඔද සිඳුණු අභිමානවත් ජනසමූහයක ඛේදවාචකය. සියවස් ගණනාවක් ඔළුව කෙළින් තියාගෙන කශේරුව නොනමා මහපොළව සිය සවිය කරගත් මිනිසුන් හාල් කිලෝවකට තවත් කෙනෙකුට අතපානවා මම දැක්කා. ඇඳුම් කෑල්ලකට පොරකනවා මම දැක්කා. එතැන බිඳවැටී තිබුණේ ඔවුන්ගේ ජීවනෝපාය විතරක් නොවෙයි. වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා.. හැමදේකටම වඩා පාසල සහ අකුරු දරුවන්ට අහිමිවෙලා. ඔවුන්ගේ හෙට දවස කියාගන්න බැරි තරම් අවිනිශ්චිත වෙලා. සෙල්ලම් කරලා දුවපු පැනපු ක‍්‍රීඩාපිටියේ කාල තුවක්කු සවි කරලා. ඒ පුංචි දරුවන් තත්පරයෙන් තත්පරයට ඇහෙන පුපුරන සද්ද වලට බයේ ඇකිලෙනවා.

අපේ රාජකාරී කටයුතු කරපු සති කිහිපය තුළ අපි ඔවුන්ගේම පවුල්වල කොටසක් වුණා. ඔවුන්ගෙන් මා අත්දුටු ආදරය අප‍්‍රමාණයි. උයන්න සහල් තබා ගෙදර ලිපත් අහිමිවුණ ඒ මිනිස්සු තමන්ගේ කුසගින්න නිවාගන්න පුච්චපු රොටිය අපි එක්ක බෙදාගත්තා. ඒ තුළ තිබුණ මහා මනුස්සකම “ස්තූතියි“ කියන වචනෙට ලඝු කරන්න බැරි ඒ ආදරය ඉදිරියේ අපි මොහොතකට ගොළුවුණා.
 
හැම දිනකම අපි එකතුවෙලා විවිධ ක‍්‍රියාකාරකම් වල යෙදුණා. සෙල්ලම් කළා. මාසයක කාලයක් ගතවෙද්දි වෙඩි හඬට බයේ කථා නොකළ දරුවන් පවා එකතුවෙලා නාට්‍යයක් රඟ දැක්වූවා. තේමාව වුණේ සාමය. යුද්ධය හා වෛරය ඔවුන් සතු සියළු දේ ගිනි තබා තිබුණත් ඒ දරුවන් ඉල්ලූවේ සාමය. ප්‍රෙක්ෂකයින් වුණේ කඳවුරු වැසියන් හා අපි දෙතුන් දෙනා. කාෂ්ඨක පොළවේ වළගොඩැලි පිරි පිට්ටනියකට එකතුවෙලා ඒ නාට්‍යය නැරඹුව හැටි දැනුත් මතකයි.

දරුවන් අඩිය තියද්දි නැගුණ දුහුවිල්ල පවා පණ අදින මහ පොළවට ජීවය ගෙනාවා. නාට්‍යය අවසානයේදී කථා නායකයා සාමය වෙනුවෙන් මිය යනවා. ( ඒ ගමේ බොහෝ දෙනෙක් යුද්ධය නිසා මිය ගිහින්) එතැන රැස්වුණ තම තමන්ගේ අය ඇඬුවේ දුකට වගේම දරුවන්ගේ හැකියාවන් දැකලා සතුටට. තමන්ගේ පුංචි උන්ගේ ධෛර්යය, ජීවිතය ගැන තිබෙන බලාපොරොත්තු,  දැකලා ඇතිවුණ සතුටට.
 
සුහද බව හරිම සුන්දරයි.. ආදරය උණුසුම්...නැවත හමුවීමේ බලාපොරොත්තුව ඊටත් වඩා නැවුම් ... ඒත්..සමුගැනීම ....හරිම වේදනාකාරියි. විශේෂයෙන් ඔබට අනෙකා කවදාවත් මුණගැහෙන්නේ නැතිවෙයි කියලා හිතෙනකොට...සේරුනුවරට "ආයුබෝවන්" කියද්දි දැනුණ හැඟම් ලියන්න මගේ වචන පොහොසත් නැතිවුණත් මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා.  හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත්  ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.
සේරුනුවර මතකය මගේ හදවතේ බිතු සිතුවමක් උණේ ඒ විදිහට...

දැන් රූපවාහිනී ප‍්‍රවෘත්තිය...
කාලතුවක්කු හා වෙඩිප‍්‍රහාර වලින් සේරුනුවර වැසියන් කිහිප දෙනෙක් හා දරුවෙක් මැරිලා......
...............................................................................................................................................
................................................................................................................................................
 ආදරෙන් මට වරක් අත දික්කරපු ඒ දරුවා සාමය වෙනුවෙන් නැවත මියගිහින්...
මේ පාර එය නාට්‍යයක් නොවෙයි....

මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..

සාමය දිහා....!

Friday, June 4, 2010

එළි

 
 
අද උදෙත්
පාර මැද
මම හිටියා
කොළ පාට එළි නිවී
රතු පාට
වැටෙන තුරු
නවතින්න
බලා‍ගෙන!

03/06/2010

Thursday, June 3, 2010

සුරුවම් ‍ සහ අපි


බූන්දියේ පළවූ, ඩෝසන් අයියා විසින්  ලියන ලද වෙනස් ආරක විචාරයක් අරභයා සිදු කොට තිබූ අවිචාරවත් විචාර කිහිපයක් (දීප්ති ගුණරත්නගේ නමද සම්බන්ධ කර ගනිමින්) කියවා මෙය ලියැවුණි.
සම්පූර්ණ ලිපිය හා ප්‍රතිචාර

කිසිදු පෞරුෂයක් සුරුවමක් කර ගත යුතු නැත. විවිධ කාල වලදී සුවිශේෂී වු මිනිස්සු බිහිවෙති; ලෝකය නව මානයන් කරා ගෙන යති. ඔවුන්ට දැනෙන පමණින් ප්‍රපංචයන් පහදා දීමට ද සහෝදර මිනිස් කැළට සත්තාව සහ යථාව පහදා දීමට ද වෙර දරති. අනෙක් මිනිස්සු ඒවා විවිධාකාරයෙන් නිර්වචනය කර ගනිති. ඒ නිර්වචන “පොරක් වෙන්න හදනවා” යන විවේචනයේ සිට එම පෞරුෂයට “දේවත්වයෙන්” සැළකීම දක්වා පරාසයක පවතී.

මේ මිනිස්සු ඒ කාර්යය සිය ජීවිත කාලය තුළදී හෝ මරණින් පසු නිමා කරති.ඉන් පසුව සිදු වන්නේ එම චින්තනය දෙස විචාරාත්මකව බලා විමසීම නොව එය පහදා දුන් හුදු මිනිස් ශරීරයට එය ආදේශ කර දුක හිතීමය, කඳුළු සැලීමය,මඩ ගැසීමය. අන්තිම්දී චින්තනය පැත්තකය. සිදුවී අත්තේ සුරුවමක් සාදා අතිශය රොමෑන්ටික් විදිහට එයට වන්දනා කර (හෝ නොකර) සුරුවම බිඳ දැමීමය. මෙම සංසිද්ධිය බුද්ධ ටද, ජීසස් ටද , ඕෂෝ ටද, දීප්ති ගුණරත්න ටද, නීට්ෂේ ටද, රත්න ශ්‍රී ටද, වාසු ටද, ඔස්කා වයිල්ඩ් ටද,  සුනිල් මාධව ටද, කපුගේ ටද, බාහු ටද,  වෙනස් වු, වෙනස් වන්නට  සිටින්නාවු හා වෙනස් නොවන්නට සිටින්නාවූ සියල්ලන්ටම ද පොදුය. ඩෝසන් අයියාද කරන්නට උත්සහ කරන්නේ එබඳුම කාර්යයක තව දිගුවකි. එනම් වෙනස්ව ලෝකය දෙස බලා එය අනුන් සමග බෙදා ගැනීමය.

එතැනින් එහාට ඔවුන් ගෙවල් වලට වී කංකුං වවනවාද භාවනා කරනවාද යන්න සෙවීමට වැය කරන කාලය ඒ මිනිසුන් කියාදී ගිය යමක් සාධනීය ලෙස විමසා මානව වර්ගයාගේ (තමන් ද ඇතුළුව) ප්‍රගමණය උදෙසා යොදා ගැනීම වඩා ඵලදායී වනු ඇත.එහිදී ගෙනෙන සහෝදරාත්මක විවේචන ඔවුන් එහි තව දුරටත් නියැලෙන්නේ නම් (ඒ ඔවුන්ගේ තීරණයකි) වඩා පැහැදීළි ලෙස සිය චින්තනයන් බෙදා ගැනීමට ඔවුන්ට උපකාරී වනු ඇත.
 
ඇල්බෙයා කැමු සිය පිටස්තරයා කෘතියට නොබල් සම්මානය ලබා ගනිමින් ලේඛකයාව සාන්තුවරයෙකු ලෙස නොහඟින්නයි ඉල්ලා සිටියේ මෙසේය.
“එසේම ලේඛකයාගේ නිර්මාණයෙහි උදාර බව මෙතැනදී හඳුනා ගත් පසු දැන් මා ඔහුව නිවැරදි තැන තැබිය යුතුය. සිය දෑතින් වැළඳ ගන්නා සගයින් හා ඛෙදා ගන්නා දෙයක් මිස ඔහු සතුව වෙනත් අයිතියක් නොමැත. පහසුවෙන් විපතෙහි වැටෙන එහෙත් මුරණ්ඩු, අසාධාරණ එහෙත් සාධාරණය සොයා යන, ලැජ්ජාවකින් හෝ අහංකාරකමකින් තොරව සියල්ලන් වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන, සුන්දරත්වය හා වේදනාව අතර දෝලනය වන ඔහු අවසාන වශයෙන් ඉතිහාසයේ විනාශකාරී බලවේගයන් පරයා උස්ව නැගෙනු පිණිස, සිය ද්විත්ව පැවැත්ම හරහා නිර්මාණයන් බිහි කරන්නට කැප වෙයි. මේ සියල්ල කෙළවර ඔහුගෙන් සර්ව සම්පූර්ණ විසඳුම් හා ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණ අපේක්ෂා කළ හැක්කේ කාටද? සත්‍යය ගුප්තය, මග හැරෙන සුලුය. සෑම විටම සොයා ගොස් දිනා ගත යුතුය. අනෙක් අතට නිවහල් බව භයානකය. එය අප ප්‍රමුදිත කළද එය සමග ජීවත් වීම අසීරුය. අප වේදනාවන් තුළින් වුවද නිර්භීතව මෙම ඉලක්කයන් කරා පිය නැගිය යුතුව ඇත. එම දිගු මාවතේදී අප අසාර්ථක වන තැන් ද තිබිය හැකි බව අපි දනිමු. මෙතැන් පටන් හෘද සාක්ෂියක් ඇති ලේඛකයෙකුට, දේශකයෙකු හෝ සාන්තුවරයෙකු බවට තමාව පත් කර ගත හැකිද?”
ලේඛකයා සහ ඔහුගේ කාර්යභාරය-ඇල්බෙයා කැමු
   
වැළඳ ගත යුත්තේ චින්තනය හෝ ලබා දෙන දැනුම මිස පුද්ගලයා නොවේ. සුරුවම් ‍නොතනන, ඉදිරිගාමී චින්තනයන් විමසන, සමාජයකදී පමණක් දැනුම ජය ගනු ඇත. ලෝකය එක යායක් වනු ඇත.

Tuesday, June 1, 2010

සුදු සිනා කැකුළ පිපුණා



සත පෙමින් නිවා සනහා
සුබ උදෑසනක් වඩනා
නිම් තෙරට සුවඳ ඇහෙනා
සුදු සිනා කැකුළ පිපුණා

කල් බලා කලා පිරුණා
පුන් සරා සඳත් නැගෙනා
දුල් උදා තරුව පැමිණා
සිල් අරන් අහස නිවුණා

ළය පුරා නිලන පෙමිනා
ඇස අගින් වැස්ස වැටුණා
කිරි හොයන සිඟිති මුවිනා
සක්වලක තනුව වැයුණා

ජීවිතේ දිහා බලලා
මුදු සිනා කඳුළු නගනා
පියෙකුගේ සෙනෙහෙ දකිනා
මගෙ දුවේ මටත් ඇඬුණා


26/05/10