Wednesday, January 18, 2012

ශතවර්ෂ අටකට පෙර මෙන් ම ... නුවර කලාවිය


වැව්බැඳි රාජ්‍යය නටඹුන්වල අභිමානය දරාගෙන හිමිදිරියේ පිබිදෙයි. අනුරාධපුර නගරයෙන් බොහෝ දුර  නිහඬව හුස්ම ගන්නා ගම්වලට ඉහළින් ඉර නැගෙයි.

අනුරාධපුරය නොහොත් නුවර කලාවිය.... නුවර වැව, කලා වැව, පදවිය වැව - එක්කොට සැදුණු නුවර කලාවිය. ...   පළමුව දහදියෙන් දෙවනුව වැසි දියෙන්  පිරුණු සිය ගණනක් වැව්වලට දහස්  ගණන් දෑත්වලින් ලේ වැගිරෙන්න ඇති,  ඒ එසැවුණු ගල්වලින් තැනුණු  වැව් බැමි මත සියවස් ගණනකින් එපිට උදා වූ ඒ රන්වන් සැඳෑවල  තරුණන් හිඳගෙන කවට කතා කියන්නට ඇති.. , ඉණ වටා පමණක් ‍ රෙදි කඩක්  දවටා ගත් කෙල්ලන් වැව් දියවරෙහි දැවටෙමින්  කහපැහැ හිරු එළියේ පෙ‍ඟෙමින් දියකෙළියේ සෞන්දර්යය විඳින්නට ඇති,  පවනකිනුදු නො කිළිටි මල් පවා  නිල් තණ බිස්ස හා  නිමක් නැති පිළිසඳරවල යෙදෙන්නට ඇති , රජවරුන් ඔටුනු දරණු ද සිහසුන්වලින් පහකෙරෙනු ද දකින්නට ඇති නුවර කලාවිය..........


.......... ඉතිං එතැන් පටන් ගෙවුණු කාලය ශතවර්ෂ හත අටකි. එදා මෙන් අදත් ලෝබ නො සිතා  දිය දෙන දහස් ගණනක් කුඹුරු නිල්පාටින් අස්වද්දන බසවක්කුලම පසු කරන විට එදා එතැන නො වූ කුඩා පාසලක් හමුවෙයි. හිමිදිරිඋදෑසන ඕලු මල් පිපී නැළවෙන දිය කඩිත්තක් අසල පිනිබරව දිදුළන, තාප්ප නැති පාසලකි. එහි බුදුගෙය පාදමේ සුදු ඇඳගත් පාවහන් නො දැමූ කුඩා කොල්ලන් කිහිප දෙනෙකු කවට කතා කියයි. පුංචි පැංචියක් සුදු ගවුම නළවමින් වියළි කලාපයේ උරුමය ලද විසල් රුකක කොළ හැළුණු මිදුල රටාවකට අතුගායි.  වියළි නිරුවත් මිහිකත එක තැනෙක ළඳු කැළෑවකින් ද, තව විටෙක වීර , පලු, කෝන් ගස් දරා සිටින තණ කොළ ගොල්ලකින්ද විටෙක බඩ ඉරිඟු යායකින් ද තවත් විටෙක දිය කඩිත්තකින් ද සැරසී කොළ පැහැයේ අනේක විධ රූපයන් මවයි.  සෙබඩක  ලැසි ගමනින් තාර පාරෙන් එගොඩ වී කහටගස්දිගිලියේ ළඳු කැළෑවකට ගොඩ වෙයි. අසල් ගසක විසල් මොණරෙකු පිල් නො විදා ලැග සිටියි...ශතවර්ෂ අටකට පෙර මෙන් ම...එතැන ම...


කැබිත්ගොල්ලෑව ද පසුකොට තවත් දුර එන විට ළඳු කැළෑ මැදට වී ගිම් නිවන පදවිය වැව... මහාසේන රජු විසින් ක්‍රි.ව. 300 දී කරවන ලද, මහා පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1200 දී පිළිසකර කරවන ලද,  අක්කර 14,000 ක් අස්වද්දන මහා දිය කඳ සැනසිල්ලේ මවකගෙන් කිරි උරන දරුවෙකු මෙන් මිහි මව බදා වැළඳ ඉසිහින් රැළිති නඟමින් නැළවෙයි. වෑ කණ්ඩියේ තැනින් තැන සුදු කොක් රෑන බර කල්පනාවක නිමග්නව වැව දෙස බලා හිඳිත්, දිය පිරුණු වැවෙන් මාලු ‘වෙනදා තරම්’ අසු නො වන බව කියන මිනිසුන් සේ ම මැසිවිලි මුහුණක් මවා පාති. වැව් දිය මතින් ඉහළ නැගෙන වියළී ගිය රුක් කඳන් අතු ඉති පතුරවමින් වෑ තෙලිකඩ මත සිතුවම් අඳියි.හොරොව් බුරුල්ලෙන්  සීරුවට ඇළ මඟට විදින කිරි දිය, පෙණ නඟමින්  නිල්ල නඟන කුඹුරුවල පවස නිවුමට කඩි මුඩියේ පිටව යයි. ...ශතවර්ෂ අටකට පෙර මෙන් ම...



21 වන සියවස ට එළඹෙන  අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් සිය ගණනක් දුරින් පිහිටි පදවිය,  මුලතිව් දිස්ත්‍රික්කයට මායිම් වෙයි. වැවෙන් කුඹුරෙන් දිවි සරිකරගන්නා වියළි කලාපයීය මිනිසුන් බොහෝ දෙනෙක් කාමරයක් හෝ දෙකක් ඇති එතරම් උදාරම්  නැති පල දෙකේ නූස් වහලවල් සහිත නිහතමානී පෙනුමක් ඇති නිවෙස්වල දරුවන් ද සමඟ වසති. ඒ ජීවිතවලට ද ජන කණ්ඩායමට ද ආවේණික වේදනාවන් සහ අභියෝගයන් ද ඒ අතර ම පණ ගැහෙයි. 

පාසල් නොයන දරුවන් මුලු ළමා ජනගහණයෙන් 30%ක් වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මත්පැන් අලෙවිය සඳහා වාර්තාවට හිමිකම් කියන්නේ පදවිය යි. අවරුදු 16 වෙද්දී බොහෝ දැරියෝ විවාහ වෙති. ගමේ සෑම පවුලකම පාහේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු වෙයි. තැනින් තැන ඇති හමුදා මුර පොළවල් මෙන්ම ගෙවුණු අඳුරු යුගයට අයත් කැඩුණු නිවෙස්, පාලු සොහොන් කොත් මෙන් ම ඒ පොළවේ දහුවිලි පවා ඊට හේතු කියා පායි. . යුද්ධයෙන් කපා කොටා මරා දැමුණු හේන් ගොවිතැනින් දිවි සරි කරගත් ජීවිතවල නිම නො වූ වේදනාව ශේෂ වූ නෑ සියන්ගේ දෑස් මත පෙනී නො පෙනී යයි. මහාසේන රජුවත් පරාක්‍රමබාහු රජුවත් කිසිදා නො දුටු තරම් ලේ පදවිය වැවට දියව යන්නට ඇත. වසර තිහක් තිස්සේ ආධාර මත යැපුණු ජීවණ යාන්ත්‍රනයන් සාමය නිසා ගල් වූ සැටියකි. තවමත් මිරිස් පැලයක් වත් නො වැවුණු මිදුල්වල දණට ඉහළින් නැගි තණකොළ සිසාරා ළමෝ කෙළි දෙලෙහි යෙදෙති.


පැරකුම් නිරින්දෝ පදවිය වැව් බැම්මේ සෙල් ලිපියක අකුරු අතර සිර වී උන් දෙස බලත්, තව සියවස් අටකට පසු උන්ගේ දරුවන්ට කුමක් වෙත්දැයි විපිළිසර වෙති. වැව වාන් නො දමා තව තවත් ගැඹුරු වෙමින් රැළිති නඟයි.


18-01-12 , පදවිය.

Saturday, January 7, 2012

SMS සංවාද



(2011දෙසැම්බර් තිස් එක් වැනිදා- මිතුරෙකු සහ මිතුරියක අතර)

a.
මතක මුතු මාලයක් වී අවුරුද්ද ලිහිලා විසිර යන                විට
එකින් එක පෙළ ගැසෙයි අහසට පැතුම් විදිහට අලුත් තරු කැට


b.
පැතුම් තරු කැට අරන් අතකට අහස් මිදුලේ ඇවිද යන      විට
මතක මුතු වැල ලිහී වැටුණත් බිතෙහි ඇඳි රූ තියෙයි     සදහට


2010 SMS සංවාද

Monday, January 2, 2012

පරණ අවුරුද්ද


ඉතිං අපි බැස ආමු හූ කියන  දුම්රියෙන්
සිතින් සිත වැළඳ ගත් නොහිම් වූ ප්‍රේමයෙන්
නිතින් රතු වී යළිත් දියව යන වේගයෙන්
අතින් හිරු අඳින සිතුවම සිඹිමු ලෝභයෙන්

එතැන  මඳ නලක් විය නතර වී දුක කියන
එතැන  රළ පෙළක් විය හැපි හැපී ඉකි බිඳින
එතැන වුව දහක් දන සිනා මුව පැළඳගෙන
එතැන වූ වැලි තරම් දුක් දුටිමු ඇස් කොණින

දුබල  ඔරුබඳ වැටී වෙරළ මත කව් ලියන
සසල සමුදුරු ළඳට දුර ඉඳන් පෙම් කරන
ඉහළ පහළට දුවන සරුංගල් මඟ කැඩෙන
විසුල සිතුවිලි මැදට කඩල ගොටු දිග හැරෙන

අසුරු ගසනා සැනින් විසල් අහසට නැගෙන
සයුරු ඉම පරදවා ගොසින් ලෝකය දකින
සොයුරු සියොතුනි  උඩ නැගී කරණම් ගසන
කවුරුහරි දුටුවාද මී විතට පෙම් කරන

තටු නැතත් නුබ නැගෙන විහ‍ඟෙක් ය සුමුදුරත්
පටුනකින් ණයට ගත් අකුරක් ය කාලයත්
නටුවකට මලක් වී පිපෙන්නේ හීනයක්
පිටුවකින් ලියනු බැරි පුවතක් ය ප්‍රේමයත්

ඉර බලයි හැරී සිය පිළිබිඹුව දිය මතින්
වර නැගෙයි මතක රළ කළඹවයි මදහසින්
සරතැස ට ඉඩ නො දී ජීවිතය ගෙන මිටින්
උර හොවා ඔබ සිඹිමි යළි සිඹිමි සෙනෙහසින්

2011-12-31