Friday, February 17, 2012

සුජාතා



නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.

සුජාතා මහරගම ආවා
මුදුන් ලීයක් නැති ගෙදරින්
දුම්බර කන්ද බැහැලා
හිතේ ගහගෙන රෝස පාටට
නිදිකුම්බා මලක්

තව යන්න බැරුව-වැටුණෙ හරියටම
ඉස්පිරිතාල හංදිය ළඟය

ලාවා ගැලුවේ රතුපාටට
වාට්ටුව යට කරගෙන
නිදිකුම්බා මල ඇකිළුනා
සිරින්ජරයක් ඇතුළට

කහ පාට සුදු පාට රතු පාට
පීල්ලට යන මංකඩේ
රූස්ස අඹ ගහේ දළු පාට
ඈ ආසම පාට ලා කොළ පාට
මෙන්න ඇස් ඉස්සරහ
ගිණි කණ දිදී
ළපැත්තම ඇවිලී වැටී හරහට

වාරු දී සේලයින් කණුවට
විසිවුණේ ආයෙත් හන්දියට
නිදිකුම්බා මල එක්ක
හිත වැහෙන්නම අලවලා බැන්ඩේජ්
පපුවට බයේ කහින්නී
කරන්ට් අල්ලලාම මැලවී
බෑඟිරි දෙන බස් රිය ළඟ සිඟන්නී

අතින් ඇදගෙන
හිතෙන් බැණ බැණ
අලුත් කවි අරගෙන
බස් රියෙන් බස් රියට ගොඩවෙන
සති දෙකක් ජීවිතේ ඉල්ලන

සති දෙකක බෙහෙත්
ලූල්වත්තට ටිකට් එකහමාරක්
හැට්ටය පලා
බැන්ඩේජ් කළ
ළය මඬළ හැර පාමි
මහතුනේ රුපියලක් හරි දෙතොත්
නිරෝගී සුව පතමි

නිදිකුම්බා මල
එල්ලී කෙසඟ අත්වල
මගී උරහිස් මතට
වැටි වැටී නිදි කරයි

ජීවිතය
බෙහෙත් පෙති තරමට ම
තිත්තයි-කලුවරයි

3 comments:

  1. සුජාත ලා බොහොමයක් ඕක මවා පාන්නත් කරන එකයි ප්‍රශ්නේ මාලතී. ඔයා මේ කියන කෙනාමද මන්දා මටත් හමු වුනා දෙහිවලදි. මම එයා දීපු පොත් ලිස්ට් එකක් අරන් එයා එක්ක කඩේට ගියාම පොත් කඩේ අය කියපුවමයි මට තේරුනේ. ඒත් දුප්පත් මිනිස්සු පොඩි හොරකමක් කලාට ලොකු අය කොයි තරම් හොර කරනවාද කියලා හිතලා මම තවත් ග්‍රොසරි එකකිනුත් බඩු අරන් එයාව ගෙදර යැව්වා.
    ඒත් එදා මට හිතට දැනුනේ ලොකු සහනයක්...
    අනිත් මිනිසුන්ගේ දුක කියවන එකම ලොකු පිනක් කල්පනා....

    ReplyDelete
  2. මෙතනදි අපි රැවටුනත් නැතත්.....වැදගත් වෙන්නෙ අපෙ හිතේ ඇතිවන චේතනාව කියලයි මට හිතෙන්නේ....රැවටිලි කාරයෙක්ට වුනත් වුනත් අපි හිත පිරිසින්දුවෙන් දෙනව නම් එච්චරයි...නමුත් ඒකෙන් එයා ඒ වැඩේට පුරුදු වෙන එක තමා වැරැද්ද...

    ReplyDelete
  3. අදහස් දැක්වීම ගැන තුති.
    රංගි කියන දේ ඇත්ත. මටත් මේ මනුස්සයව දැක්ක ගමන් හිතුණෙ බොරුවක් කියලයි.පොඩි ළමයි අරන් හිඟමනේ යාම තවත් නරකයි. නමුත් දවස් ගාණක් මේ දර්ශනය මගේ ඔළුවෙ කැකෑරෙද්දි අවසාන වුණේ 'එය ඇත්තක් විය හැකිනම්' කියන තැනින්. රංගි සහ හේමලයා කියනව වගේම මේකෙ පැති කීපයක් තියෙනවා. එකක් මේක ඇත්තක් වීම. අනෙක ස්වභාවිකවම උඩඟු, ආත්මාභිමානයෙන් යුතු මනුෂ්‍යයා කියන ස්ත්ත්ව කොටසට අයත්ව ඉඳලා ඇත්ත හෝ බොරු කියමින් අනුන්ට අතපාන්න සිද්ධවීම තුළ ඇති ඛේදය(මෙවැන්නක් කවර හෝ තත්ත්වයක දී අපට කළ හැකිද? බෑ), ඒ තුළ ඇති ‍ආත්මීය කඩා වැටීම, අසරණකම විස්තර කරන්න හෝ විශ්ලේෂණය කරන්න අමාරු දෙයක් වීම. ඇත්තම දේ නම් දරුවන් සමඟ ජීවිකාව සොයා ගැනීම සඳහා, බේත් හොයා ගැනීම සඳහා දුප්පතුන්ට හිඟමනට වැටීමට බල කරන පරිසරයක අපි වෙසෙන බවයි. ඒ සියල්ල එසේ බව දැන දැනත් එය තවත් තීව්‍ර කිරීමට මිස කිසිවක් වෙනස් කිරීමට උත්සාහ නොදරන යාන්ත්‍රනයක් ඒ තුළ ක්‍රියාත්මක වන බවයි.

    ReplyDelete