ඇය හිටියෙ ඒ නිල් පාට තණ බිමේ දිගාවෙලා..උඩින් තැනින් තැන තරු පායලා තිබුණා. ඇය ඇඳන් හිටිය දිග සායේ වාටිය එක එක පාට තුත්තිරි ඇනිලා තිබුණා. හුඟ කලකට කලින් සැරිසරපු කඳු මුදුන්වලින් පහළට එද්දි ඇනුණු තුත්තිරි කොළ පාටයි. නුවර වැව රවුම පහු කරද්දි ඇනිල තිබුණේ රතුපාට ඒවා. අවපැහැ ගැන්වුන දුඹුරු පාට තුත්තිරි සහ කහ පාට තුත්තිරි ඇලවුණේ ගිය අවුරුද්දෙ දවසක නයගරා ඇල්ල ළඟ වාඩි වෙලා හිටි වෙලාවෙද නැත්නම් හොඳට ම හුදෙකලා වුණ වෙලාවක වීනස් තරුව උඩ සක්මන් කරද්දි ද එහෙමත් නැත්නම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පහුතරගෙන නයිල් ගං ඉවුර අයිනෙන් පාවෙලා අපු වෙලාවකද කියල ඇයට හරියට ම මතකයක් තිබුණේ නෑ. කොහොම වුනත් රෝස පාට තුත්තිරි ඇමිනුණේ නම් අනෝතත්ත විල කෙළවර වස් වසපු කාලෙ. ඒ වතාවෙ අනෝතත්ත විල පිරිල තිබුණෙ කඳුළුවලින්.
ඇගේ හිත වෙලාවකට වීනස් තරුවට එතනින් ආයෙත් ඇමසන් වනන්තරේට දුවමින් තිබුණෙ හීනෙකින් වගේ. කොහොමත් ඇය හිටියේ අඩ සිහියෙන්. වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. පපුව උඩ ලොකු කළු ගලක් තියාගෙන ඉන්න කොට පහසුවක් දැනෙන්න විදිහක් නෑ.මොකද හැමදාම පිහාටුවක ස්කන්ධය දරාගෙන ඉඳලා එකපාරටම කළු ගලක ස්කන්ධය දරාගන්න පුළුවන් පරමාණුක ව්‍යුහයක් නෙවෙයි හදවතකට තියෙන්නේ. ‘හැමදාම’ කියල කිව්වට හදවතක් කියන්නෙ පිහාටුවලට අමතරව ටොෆි ලොසින්ජර, කොහොඹ ඉස්ම පුරවපු භාජන වගේම මාර්‍ග සිතියම් , සුරංගනා කතා වගේ දේවල් උනත් දරා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසයි කාලෙන් කාලෙට හදවතකට යම් කිසි වස්තුවක් දරා ගැනීමට තියෙන හැකියාව වෙනස් වෙන්නෙ. ඇයත් මේවා දරාගෙන ඉඳල තියෙනවා. ඒත් ඒ බොහොම කාලෙකට ඉස්සර. සමහර විට ඒ වගේ බරක් දරාගන්න හදවතකට ශක්තිය ලැබෙන්නෙ එක පාරක් විතරක් වෙන්නැති. නැත්නම් එක්තරා කාලකෙට පස්සේ කෙනෙකුගෙ ඒ ධාරිතාව අඩු වෙනව ඇති. අනෙක අහසෙ වලාකුළු පාවෙන හැටියට පිහාටුවක් උනත් කළු ගලක් තරම් බරට දැනෙන වෙලාවල් තියෙනවා. කළු ගල් වුනත් පිහාටු වෙලා පාවෙන වෙලාවල් තියෙනවා.
කොහොම වුනත් මේ තියෙන්නෙ කළු ගලක්. ඒක ඇයට විශ්වාසයි. ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ කර ගත්තෙ ඒකෙ දාර උල් ඇනිලා ලේ බිංදුව බිංදුව මතුවෙන්න පටන් ගත්ත නිසා. ඇය අමාරුවෙන් තවත් හුස්මක් ගත්තා. ඒ හුස්මෙ ශක්තියෙන් බර වෙලා තිබුණ ඇහි පිහාටු මෑත් කළාම පෙනුනෙ අහස. කළුපාට රෙද්දක් වගේ අතුරලා තිබුණ අහසේ එල්ලිලා තියෙන තරු එක්ක දෙකක් තුනක් සැරින් සැරේ බිමට වැටෙනවා ඇය දැක්කා. ඇයි මේ තරු වැටෙන්නේ කියල කාගෙන් හරි අහන්න ඕන වුනත් ඇගේ තොල් හෙළවුණා විතරයි. වෙහෙස වැඩි කමට කටහඬ පිටවුණේ නෑ. තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්. ඇයට හීනෙන් වගේ මතක් වුනා.
ඇයි ප්‍රාර්ථනා අහසෙ තියෙන්නෙ? ඇය තමන්ගෙන්ම ඇහුවා. ඒක හොඳම සිහියෙන් හිටිය නම් අහන්නෙ නැති ප්‍රශ්නයක්. මොකද ඇය උත්තරේ දන්නවා. ප්‍රාර්ථනාවක් ලස්සන වෙන්නෙ අහසෙ තියෙන කොට මිසක් පොළවට වැටුනම නෙවෙයි. තරුවක් පොළවට වැටුණම ඔබට ඒකට ළං වෙන්න ලේසි වුනාම- ඔබ ඒකට අත තියපු ගමන් තරුව අඟුරු කෑල්ලක් බවට පත් වෙනවා. අහසින් ගිලිහෙන ඒ මිලි තප්පරේට පස්සේ තරුවකට වටිනාකමක් නෑ.
තරුවලින් ඇස් මුදා ගත්ත ඇය අමාරුවෙන් බෙල්ල වාරු කරලා ඉස්සිලා කළු ගල උඩින් අවට බැලුවා. ඇය හිතුවට ඇය වැතිරල ඉන්නෙ හුදෙකලා පිට්ටනියක කියල ඒක එහෙමමත් නෙවෙයි කියල ඇයට තේරුනා. ඇය අවට තව බොහෝ දෙනෙක් ඇවිදිමින් හිටියා. පුදුමෙකට වගේ ඒ අයගේ අත්වල පපුව උඩ ඔළුව උඩත් එක එක ප්‍රමාණයේ කළුගල් තිබුණා. සමහර ඒවා බොහොම විසාලයි. කීප දෙනෙක් මහා මේරු පර්වත පවා උස්සගෙන හිනා වෙවී එහෙ මෙහෙ යනවා පෙනුනම ඇය පුදුම වුණා. තවත් අය පපුව උඩ තිබුණ පුංචි දල්ලක් එහෙම නැත්නම් පිහාටුවක පවා බර දරා ගන්න බැරුව දණින් වැටිලා කෙස් කඩා ගනිමින් හිටියා. ටිකක් වෙලා මේවා බලන් ඉන්න කොට ඇයට දැනුනා අර පපුව හිරවෙන ගතිය අඩු වෙන බව.
“ඇයි කවුරුවත් මේ කළු ගල බිමින් තියලා යන්නෙ නැත්තේ?”ඇය ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ නෑ.
ඒ වෙනුවට ,
“මට බැරිද මේ කළු ගලේ ස්කන්ධය පිහාටුවක ස්කන්ධය බවට හරවන සූත්‍රයක් හොයා ගන්න ?” ඇය මූණ ළඟම පිපිල තිබුණ තුත්තිරි මලකින් ඇහුවා.
තුත්තිරි මල හෙමින් උත්තර දුන්නා.
“පුළුවන්- ඔයාට කරන්න තියෙන්න අවධානය යොමු කරන්න. පෘථිවිය මත තියෙන වස්තුවක ස්කන්ධයට බලපාන ප්‍රධානම දේ තමයි තරුවල දීප්තිය-පුළුවන් තරම් උත්සාහ කරන්න තරුවල දීප්තිය තියා ගන්න. එතකොට හෙමින් හෙමින් ස්කන්ධය අඩුවේවි”.
“කොහොමද ඒක කරන්නේ?” ඇය ඇහුවෙ උනන්දුවෙන්-ඒත් අවිශ්වාසයෙන්.
“හරි ලේසියි. කවදාවත් බලාපොරොත්තු අත් ඇරගන්න එපා.” කියපු තුත්තිරි මල හිනාවුණා.
....බලාපොරොත්තු... ප්‍රාර්ථනා....
ඇය ලොකු හුස්මක් ගත්තා, ඇස් පියාගෙන ම. මේ පාර හුස්ම ගන්න තව ටිකක් පහසු වුණා.
කළු පාට අහස යට තාරකා දිළිසෙමින් තිබුණා.
-//-
nice letter akka... it's really interesting..
ReplyDeleteඅපි එක ඒකෙන ප්‍රශ්න දිහා බලන විදි වෙනස් කෙනෙක් ට මහා මේරු පර්වතයක් තව කෙනෙක් ට පුංච් පිහාටුවක් තරම් වත බරක් නොදනනේ... එකෝ අතට ම ඒ යට එක බරක් නොවෙන නිසා එහෙමත් නැත න් අතටම බරක් කියල නොතේරෙන කමට හෝ නොදන්නා කමට...
කොහොම උනත් හිතේ තියන බර බිමින් තිබ්බ නම් ගමන පහසුවෙන් යන්න පුළුවන් කියල තමි මගේ හැගීම....
බලාපොරත්තු අපිව ජීවත් කරවනවා වගේ ම අනවශ්‍ය ඕනවට වැඩ බලාපොරොතු අපි ට ප්‍රශ්න ගෙනල්ල දෙනවා සමබර කරගෙන යන එක අපේ වැඩක නේ ද ???
ස්තූතියි චරිත. මම අදහස් දැක්වීමක් නොකර ඉන්න කැමතියි. මොකද මේක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා. :)
ReplyDeleteආපහු ලියන්න ගත්ත එකට බොහොම සතුටුයි මාලතී. නොලියා ඉන්න එක අපරාධයක් ඔයාලා වගේ අය. එතකොට කියවන අපිට මොකද වෙන්නේ?
ReplyDeleteස්තූතියි රංගි. වැඩ වැඩි කම නිසා ම තමයි අඩුවෙන් ලියවෙන්නේ.:) Wish you well...
ReplyDelete