Wednesday, July 18, 2012

අත් දෙකක්


එහා මෙහා වෙන අත් දෙකක් සහ තණ පඳුරු ඇරෙන්න එතන වෙන මොනවත් තිබුණෙ නෑ. අහස තිබුණෙ වෙනද ස්ථානගත වෙනවට වඩා ටිකක් පහළින්. ඒ හින්ද වලාකුළු තිබුණෙ උස තණ කොළ පඳුරුවල ගෑවි නො ගෑවි. යන්තම් වලාකුළු ඈත් මෑත් කරල තණ පඳුරු පාද ගත්ත අත් දෙක නිහඬවම ඒව උදුරන්න පටන් ගත්තා. හැම තණකොළ ගහක්ම සීරුවට. මේ තණකොල වැවිල උස යන්න ගත වෙන්නෙ සති හතරයි-උපරිම හයයි. CO3 කියන තණකොළ වර්ගය.... ඒත් සල්ලි දීල අරන් බලෙන් වවන තණකොළ ජාතියක් මෙතනට ආවෙ කොහොමද?

මතක තියා ගන්න. එක ම වෙලාවක එක තැනක් හොඳටම එළි පෙහෙළි වෙලා තියෙන්නත් එතනම එහා පැත්ත හොඳටම වල් බිහිවෙලා තියෙන්නත් පුළුවන් වෙන්නෙ ලෝකේ එකම එක තැනකයි. සුසාන භූමියක විතරයි..


වලාකුළක් ඇවිල්ල තණ පඳුරෙ මුල වැදුණු පාර අත් දෙක ආයෙත් සීතල වුණා. ඒක වැහි වලාකුළක්. තණකොළ පඳුරුවලට යටින් තිබුණෙ නිදිකුම්බා ගාලක්. ඒ ගාලෙ තැනින් තැන මල් පිපිලා. අත් දෙක ටිකකට නතර වුණා. නිදිකුම්බ මලක් හෙමිහිට ස්පර්ශ කළා. නිදිකුම්බා මල හිස බාගෙන ඒ ස්පර්ශය විඳ ගත්තා.  අත් දෙක තව ටිකක් පහළට ගියා. එක පාරටම නිදිකුම්බා ගහ ගැලවුණා. නිදිකුම්බා මල එක පාරක් ගැස්සුණා . ඔළුව කඩාගෙන වැටුණා. එක අතක ඇඟිලි තුඩකින් පුංචි ලේ බිංදුවක් මතු වුණා.

කටු ඇනිල ලේ එන අත් දෙක පස් ගොඩ උඩ තෙරපුණා. ලේ බිංදු පස්වල ගෑවෙද්දි වලාකුළුවලට යන්තම් උඩින් එල්ලෙමින් තිබුණ ඉර එක පාරටම චිමිනි ලාම්පුවක් වුණා.  හැමතැනම කළුවරයි. ඇළ පාරක් ළඟ ගෙයක් තියෙනවා. චිමිනි ලාම්පුව බවට හැරුණු ඉර ඒ ගෙදර පරණ කැබිනට් එකක් උඩ තියල තිබුණා.  ළමයි දෙන්නෙක් තමන්ගෙ තාත්තට තුරුල් වෙලා ඒ ළඟ ඉඳගෙන.

‘ඇයි තාත්තෙ අපිට කළුවර වෙන්නෙ?’ එක දරුවෙක් අහනවා. තාත්තා ළඟ තිබුණ බෝලයක් අතට අරන් හෙමින් හෙමින් කරකවමින් චිමිනි ලාම්පුව වටේට ගෙනියනවා.

“පේනවද? ලාම්පුව පැත්තට මුහුණ දාපු කොටසට එළිය යි. ලාම්පු එළියට විරුද්ධ පැත්ත අඳුරුයි. අපි ජීවත් වෙන ලෝකෙත් ඒ වගෙයි. පෘථිවිය ඉර වටේ කැරකෙද්දි තමයි දවල් රෑ වෙන්නෙ.” තාත්තා කියල දෙනවා. ටිකකින් ළමයි දෙන්නා තාත්තගෙ සරමෙ ගුලි වෙලා නින්දට වැටිලා.

පුංචි අය ඇහැරෙන්නෙ තාත්තගෙ කටහඬට. තාත්තා කිරි හදලා ඒ දෙන්නට පොවනවා. දැන් චක්කරේ පාඩම් ගන්න වෙලාව. අන්න ඒ වෙලාවට තමයි පෘථිවිය ඉර වටේ යන එක එක පාරටම නතර වෙන්නෙ. හරියට ම කියනව නම් අට වරක් හත කීයද කියලා තාත්තා අහන වෙලාවට. එතකොට ඇස් දෙක නිලංකාර වෙලා විදුලි කොටනවා. ඊළඟට ඒ දෙන්නා දණ ගහගෙන චක්කරේ  පාඩම් කරනවා.

පස්වලට තෙරපිලා තියෙන අත් දෙකේ ලේ බිංදු නැවතිලා. අරලිය මලක් හෙමිහිට ලා දුඹුරු පාට පස් ගොඩ උඩට වැටෙනවා. අරලිය මලක් කියන්නෙ නිශ්චිත පරිණාමයක් සහිත අවිනිශ්චිත ජීවයක්. පොහොට්ටුවේ පටන් මල දිගහැරීම දක්වා ක්‍රමානුකූලව. ඒත් ඒ මල නියමිත වෙලාවට  නටුවෙන් ගිලිහෙද්දි ගහ කණගාටු වෙන්නෙ නෑ. හැබැයි බලෙන් කැඩුවොත් ගහ කිරි පාටට අඬන්න පටන් ගන්නවා.   කවුරුවත් නොදැන හිටියත් කලට අකලට වැටෙන හැම මලකට ම කතාවක් තියෙනවා.

තාත්තා ෆුට් සයිකලයක් පැදගෙන යනවා. එයා ගෙදර යන්න ප්‍රමාදයි. දරුවො බඩගින්නෙ. ‘අනේ මගෙ දරුවො’ ඒ තාත්තා තනියෙන් කතා කරනවා. දවසින් දවස ඒ ගොල්ලො එකතුවෙලා එක එක දිහාවල යනවා. සොලමන් රජ්ජුරුවන්ගේ රත්තරන් නිධාන වලට, සූලු දේශයට, මොන්ත ක්‍රිස්තෝගෙ අබිරහස් මන්දිරයට, සිද්ධාර්ථ ට තොටිය මුණ ගැහුණ තොටුපළට , ගෞර් මෝහන් බාබු තමන්ගෙ යාළුව බිනය එක්ක හින්දු ධර්මය ගැන දෙසමින් කෙස් පලපු තැන්වලට.....

කාලය ගත වෙනවා. ළමයි ලොකු වෙනවා. ඒගොල්ලො  ඉඳ හිට තාත්තා ළඟට ඇවිත් ජීවිතේ කරුණු කාරණා සංතාප බෙදා ගන්නවා. ‘කවදාවත් හිතට විරුද්ධව වැඩ කරන්න එපා’ තාත්තා ඒ වෙලාවට කියනව. ඇවිදල ඇවිදල මහන්සි වුනාම බොරු කකුල් හයි කර ගන්න ළමයි දෙන්නා වාසනාව හොයාගෙන යනවා. එක්කෙනෙක් කඳු දිහාවට..තව කෙනෙක් තණ බිම් පැත්තට...තාත්තා ඒ ගොල්ලන්ට යකඩ සපත්තු සහ රිටවල් දීල ආශිර්වාද කරනවා. මෙහෙම ගිහින් එක්කෙනෙක් උස කුළුණක් උඩ තියෙන තරුවක් ඇතුළෙ මන්දිරයක් හදනවා. . අනිත් කෙනා හුදෙකලා  තැනිතලාවක පාරාදීසයක් හදා ගන්නවා.

වෙලාව ගෙවිල යනවා. වරකට නිදිකුමබා ගහක්, වරකට තණ පඳුරක් බැගින් අත් දෙකෙන් ඉදිරෙනවා. අරලිය ගස් පස් ගොඩ වටේට හිටගෙන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

ඒවට පේනවා තාත්තා අර පාරාදීසවලින් දුරට වෙලා ළමයි එනකම් බලන් ඉන්න හැටි. මන්දිරයක වුනත් පාරාදීසයක වුනත් කොයි තරම් දේවල් තියෙනවද වධ වෙන්න. ඉස්සර වගේ නෙවෙයි.ළමයින්ට තාත්තා එක්ක ඉස්සර වගේ ට්‍රෝජන් අස්සය පිට යන්නවත් තාත්තා කොල්ලෙක් කාලෙ  කැලේ යද්දි කුළු මීමෙක්  එන කොට බයවෙලා සපත්තු පිටින් ගස් නැග්ග හැටි අහලා බඩ අල්ලන් හිනා වෙන්නවත් දැන් වෙලාවක් නෑ.

මැලවුණු, ගැලවුණු නිදිකුම්බා පඳුරු තණ පඳුරු ඈතට විසි වෙද්දි ටික ටික එළිය වුණා. හිතුමතේට එහෙ මෙහෙ වුණ උඳුපියලිය වැල් ටිකක් සහ බොරළු ගොඩක් යට අළුත් පස් ගොඩක් නිශ්ශබ්දව නින්දට වැටිල හිටියා. ඒ වෙලාවෙ වලාකුළු වුනත් ඈත් මෑත් වෙලා ඉර එළියට ඉඩ දුන්නා. ඉර එළිය පස් ගොඩ උඩට පෙරුණෙ සීරුවට-හරිම නිශ්චිතව. ඒ හැම ආලෝක කදම්බයක්ම දැනං හිටියා තමන් පතිත වෙන්න ඕනේ මොන කෝණයෙන්ද කියල. හාත්පස පැහැදිළි වෙලා අරලිය මල්වලට නිදහසේ බිම වැටෙන්න ඉඩ හැදිල තිබුණා. අත් දෙක ආයෙමත් එහෙ මෙහෙ වුණා. නින්දෙ ඉන්න  පස් ගොඩ ළඟ නතර වුණ අත් දෙකෙන් ඉතිරිවෙලා තිබුණ අන්තිම නිදිකුම්බා පඳුරුත් ගැලවුණා.

ඒ එක්ක ගැලවුණු කටු අත් දෙකේ ඇලවිලා ඔහේ උඩ බලන් හිටියා. වීසි කරපු නිදිකුම්බා ගස් එහා පැත්තෙ මහ සද්දෙන් උද්ඝෝෂණයක්. හරියට ළමයි ඉඳල හිටල මුණගැහුණම එක එක දේවල් ගැන කියල තාත්තා එක්ක වාද කරනවා වගේ. එතකොට තාත්තා හිනාවෙලා නිස්සද්ද වෙනවා. ඒ හිනාවෙ පිරිල තියෙන අවබෝධය සහ ආදරය තාත්තගෙ පපුවෙ හිරවෙලා කැක්කුම් ගන්නවා.  දරුවො ඒක නො දැකම ආපහු යන්න යනවා.

දවසින් දවස මේ කැක්කුම වැඩි වෙනවා. අන්තිමට දවසක් හෙමින් සැරේ බිම ඇද වැටෙන තාත්තාව මහ පොළව ආදරයෙන් වැළඳ ගන්නවා.

වලාකුළු එහා මෙහා වෙලා තවත් අරලිය මලක් පස් ගොඩ උඩට වැටෙනවා. වටේට තියෙන වෙන පස් ගොඩවල් උඩ මතක පොකුරු පොකුරු පරවෙලා වැතිරිලා ඉන්නවා. ඒවා නැගිට්ටවන්න කවුරුවත් එන්නෙ නෑ.ඒවා මතකයන් විතරයි. මතකයන් අයිති පුද්ගලයින්ට. පුද්ගලයෙකුගෙන් මතකයන් අයින් වුනාම වෙන්නෙ මොකක්ද? ඒගොල්ලො යන්නම යනවද? වෙනත් ශක්ති ප්‍රභවයකට රූපාන්තරණය වෙනවද? ක්ෂුද්‍ර අණු වෙලා විශ්වයට මුහු වෙලා යනවද?  කෙනෙක් මෙතනට ආවම අපහු එන්නෙ නෑ කියන යථාර්ථය අවබෝධ කරගන්න එළියෙ ඉන්න අයට ගත වෙන කාලය කොච්චරද? මාසයක්? අවුරුද්දක්? නෑ සමහර විට ජීවිත කාලයක්. ඒ නික්මයාම ආපස්සට ගන්න බැරි හුස්මක් කියල දැනෙන කොට, විශ්වයේ කිසිම දෙයකට ඒ නියාමය වෙනස් කරන්න බෑ කියල දැනෙනකොට මහ කළු ගල් උණුවෙලා වැක්කෙරෙනවා.

සුසානයක් කියන්නෙ ගෙයක් නැති උළුවස්සක්. කවුරුහරි ඒකෙන් ඇතුළට එද්දි හදවත්වල රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා. හඬ ශබ්ද ඇහෙන්නෙ නැතිව ගිහින් අරලිය මල් කතා කරන සද්දෙ ඇහෙන්න ගන්නවා. තණකොළ කෙඳිරි ගාන සද්දෙ ඇහෙන්න ගන්නවා. පස් ගොඩවල් හුස්ම ගන්න රිද්මය දැනෙන්න ගන්නවා. පොළව යට වැළලිලා තියෙන මතක කන්දරාවල් අවදි වෙන්න පටන් ගන්නවා. එතකොටයි යන අයගෙ ඇහිපිය වේගයෙන් ගැහිලා උළුවස්ස තෙමාගෙන වැස්ස කඩන් වැටෙන්නෙ.

ඒ වැස්සට මතකයන් අවදි වෙනවා. ළමයි කාලෙකට පස්සෙ කලා වැව් ඉවුරෙ හුදෙකලාව ඉඳගෙන ඉන්න කොට...ගංගානම් ග‍ඟේ ශුද්ධ වූ ජලය අත් දෙකට ගන්න කොට... ඇබොරිජින් කෙනෙක් ඩෙනිම් කලිසමක් ඇඳල කොටු ෂර්ට් එකක් උඩින් දාගෙන විදුලි දුම්රියේ තමන්ගෙ ඉස්සරහ ඉඳගෙන රිච්මන්ඩ් ස්ටේෂන් එකේ ඉඳල බොක්ස්හිල් සිටි එකට යනව දකින කොට...... තමන්ගෙ අලුත උපන්  දරුවා මුලින්ම තනියෙන් නැගිටින කොට........ හැමදාම කඩාගන්න ඕන කරපු ඉර හඳ තාරකා විජයග්‍රහණය කරන කොට..... ඒ දේවල් බෙදා ගන්න ඕන වෙන්නෙ තාත්තව.

අත් දෙක ආයෙත් වෙවුලනවා. ඒ වුනත් අත් දෙකකට ඇස් දෙකක් නෑ. ඒ නිසා අඬන්න බෑ. තණකොළ බූව ගෑවිලා කසන අත් දෙක පස් ගොඩ පුරා ඇදුණු උඳුපියපියලිය ගොල්ල අතගානවා. පරවුණ අරලිය මල් අහක් කරනවා. අත් දෙකට ඇස් නැති වුණාට වලාකුළුවලට ඇස් තියෙනවා. ඒ හින්ද වලාකුළුවලට අඬන්න පුළුවන්. වලාකුළු  ඇඬුම් තද කර ගනිද්දි විදුලි කොටනවා. අත්දෙක පරිස්සමින් වලාකුළු අතගාල අතගාල විදුලි එළි අරගෙන පස් ගොඩ උඩ තියලා පත්තු කරනවා. ඒ ඇ‍ඳෙන විදුලි එළි රටා  අත්දෙක උණුහුම් කරනවා. සූලු දේශයෙ, ඇමසන් වනාන්තරයෙ,ස්ටෙප්ස් තැනිතලාවෙ, ෆ්ලොයිඩ් සහ හල් ඉන්න අජටාකාශ යානයෙ, ලෝඩ්ස් ක්‍රීඩා පිටියෙ, වුල්ෆන්ලගෙ දඩබිමේ රිද්මයට ගැහිච්ච සන්සුන් හදවතක් විශ්වය පුරා විසිරිලා තියෙන බව.... ඒ හදවතේ මතකය පස් ගොඩ යට සුවසේ නිදියන බව, ඒ නින්දට බාධා නොවෙන්න පස් ගොඩ පුරා වැතිරිලා හිටපු නිදිකුම්බා යායයි වැස්සෙන් ආරක්ෂා කරගන්න දෑත් විහිදලා උසට උසේ  ඉන්න CO3 තණකොළ පඳුරුයි දන්නවා. ඒ හදවතේ පිරිල තියෙන්නෙ අවබෝධය සහ ආදරය.

අත් දෙක හෙමිහිට යන්න හැරෙනවා. ඇඬුම් තද කර ගත්ත වලාකුළු හයියෙන් හුස්ම ගන්නවා. විදුලි එළි දැල්වෙන, එළි පෙහෙළි වුණ පස් ගොඩ උඩ අත් දෙකට අයිති යමක් අමතක වෙලා දාල ගිහින්.....

.............................................

එතන තිබුණෙ වැළපෙන හදවතක්.


26/06/2012

No comments:

Post a Comment

Post a Comment