ගිරග මත මුදු රැයට
සඳ නො විඳි සඳ එළිය
ආ දා...
රත් දෙතොල් මධු බඳුන
තණ බිමෙහි තවරන්න
මේධා....
විෂ විතෙන් සව්දිය පිරුව
කිසිදාක ඉලක්කය නො වැරදුණ
සර්ප පරපුර මැද...
රෙහෙණු මිස පෙති
නො පළඳන්නට නියම ලද
සදාකාලික මල ඔබ.
කඳු ශිඛර මං පෙත් හි
කවට බස් ඇසිලුවෙද
නො වැළපෙන බව දිවුට
ඇසට දුක් ඇවිලුණි ද
දැන් ඉතිං ඔබ එන්න...
මුවරද ම උපදවා,
වෙහෙස වූ තොල් අගට
විෂ දළක් තබා ගිය
පරව ගිය වෙරළු මල්
නිය අගින් සිඳලන්න
සඳ දියෙන් කැළුම් දෙන
සෙවල කොරපොතු සමඟ
තාරකා යට හෙමින්
වැතිරෙන්න
නිශ්චල ම අහස සේ
පැතිරෙන්න
පළාපෙත්තන් පවා
ළය පුරා පෙම් වඩන
ස්නේහ තණ පත් අතර
සැඟවෙන්න
විෂ මිදුණු හැව අතැර
ජීවිතේ විළිලන්න
වේදනා ගැබතුරෙහි
ප්‍රේමය ම ධාතු කොට
සැදුණු හද මිණක් ඇත
තබා ඇසි පියන් තුළ
සදා සුරැකිය යුතු
කඳු අතර,
ළදැරියක ගී රාව
යළිත් නිම්නාද දිය යුතු.
කඳු අතර,
ඒ නදින්
හද මිණක සනහස
යළි ගලා යා යුතු...
ගිරග මත මුදු රැයට
සඳ නො විඳි සඳ එළිය
ආ දා...
රත් දෙතොල් මධු බඳුන
තණ බිමෙහි තවරන්න
මේධා....
මේධා*- උපේක්ෂා නුවන්ශ්‍රීනි ගේ 'සර්පයාගේ දියණිය' නවකථාවෙහි ප්‍රධාන චරිතය
අපූරුයි!
ReplyDeleteතාම නවකතාව කියවලා නැහැනේ.. ඒ නිසා ඉතින් කමෙන්ට් කරන්න දැනෙන්නේ නැහැ.
ReplyDelete