Wednesday, November 14, 2012

වීණාව මට දී , ඔබ ගැඹුරු නින්දක




කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු 
ඇවිත් නතරව  මා පසෙක
වීණාව මට දී 
ඔබ ගැඹුරු නින්දක 

මට නැතත් කාලයට ඉක්මන් ය
ඉතිං මට 
වයන්නත් බැරි 
නො වයා ඉන්නත් බැරි....

ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බැරි

නිද්‍රාවට  කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසාම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට 
සිහිනයෙන් සිහි විකල් නොවන්නට

මම වයමි...
නොනැවතී වයමි

දැන දැනම...
ගැඹුරු බව
ඔබේ සිහිනය....
මගේ වෙණ නදට වැඩියෙන්

නොබිඳ වෙණ තත්
වයමි...
යළි යළි වයමි
ඔබ ට....
සිහින නොපෙනෙනු පිණිස.



4 comments:

  1. හරිම ලස්සනයි,
    මම වයමි ......
    නොනැවතී වයමි ....
    ඔබට සිහින නොපෙනෙනු පිණිස....


    මේ ටිකට මම හරිම ආසයි. කොච්චර හොඳද එහෙම නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි..

      Delete
  2. වීණාව කතාබහ නතර කළ දා සිට
    උගත්තේ වයන්නට රන් ස්වර

    නින්දෙන්ම මිය යන්න තතනන කෙනෙකු ගැන
    වයන්නට මෘදු ස්වර
    සිහිනයට පෙර අවදි වෙන්නට උගන්වන්නට
    වයන්නට දිගු ස්වර

    වීණාව දිගු කර කෙසඟ දෑත
    වැළඳ ගන්නට පතන්නේ ඔබේ දෑත
    සියුමැලිය මේ සිහිනයක ප්‍රහර්ෂය
    නොබලාම වැයෙන්නට උවමනා බව නොමනාද

    ReplyDelete
    Replies
    1. නින්දෙන්ම මියෙන්නට පතන අයට ද
      සිහින තුළ මිය ඇදෙන අයට ද
      වීණා වැයිය යුතු..
      එළඹි සිහියෙන්
      නොපමාව
      කල් නෑර
      විඳින්නට ඉමිහිරි වෙණ නද...

      ස්තූතියි කාංචනා...

      Delete