Saturday, May 11, 2013

නො තෙත් හිත් මත කාසල් කඳුළු





“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්

සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි
ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි
නෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමි
සිතින් දුක දරමි ප්‍රේමය උහුලගමි

විකල් සරතැසකි මතකය බිඳෙන ඉම
විතැන් වූ සිහින පමණක් ඉතිරි වුණ
වසන් වුනේ ඇයි ඔබ හද ගැඹුර මැන
විසංවාදයකි අප වෙන් කෙරුණු තැන

පඳුරු ලලා නැගි ජීවිත ළතැවිල්ල
සොඳුරු යමක් වී නම් ඔබෙ හසරැල්ල
සොඳුර අතැරි දා ඔබ මේ වෙදැඟිල්ල
කඳුළු නොවෙයි මේ සයුරක වැළපිල්ල

කෙතක් වෙලා සෙනෙහස දුන් පිංකමට
කොතක් වෙලා ඔබ ඇති උස් දා ගැබක
සඳක් නැගී රැඳුණොත් කොත් කැරළි මත
සඳක් නොවෙයි ඒ මගෙ ගිනි ගැණුනු හිත

දහසක් හෙළන සීතල සුසුමින් සැලෙන
දහසක් කඳුළු මල් රෝහල් බිම පිපෙන
එමලෙක තෙත නො දත් ජීවක සකිසඳින
අහසක් වී කුමට වැහි කඳුළක් නොදෙන



6 comments:

  1. ගොඩක් ලස්සනයි කවි ටික..දිගටම ලියන්න.එනවා බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි.

      Delete
  2. මේ වගේ කතා කොයි තරම් නම් ඇහෙනවද?
    මේ දවස් වල මගේ ක්ලයන් කෙනෙක් ඉන්නවා. රාගම හොස්පිටල් එකේ ස්ට්‍රයික් එකක් අස්සේ ළමයා ඉපදිලා තියෙන්නේ. දොස්තර වරු හෙදියන්ගේ වලි අස්සේ ළමයාට ඔක්සිජන් දීලා නෑ. ඒ ළමයා සදහටම ආබාදිතයි cerebral pluralize එකක්. දැන් අවුරුදු දහයක් වෙලත් තාම ඇවිදින්න බෑ. (cerebral epilepsy) ඉතින් අපි මනුස්සකම ගැන කතා කරනවා. වචන වලට විතරක් අපි මනුස්සයෝ වෙලා තිරිසන් සත්තු වෙලා හැබෑවට.
    ඒත් අපි වෙනුවෙන් හඬන්න වචනයක් කියන්නවත් අපි හුරු වෙලාද අනෙකා වෙනුවෙන් තියා?

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. මම මේ කියන දේ ඔප්පු කරන්න මා ළඟ විද්‍යාත්මක සාක්ෂි නෑ. ඒත් මගේ නිරීක්ෂණය තමයි තනි තනි පුද්ගලයන් හැටියට එකිනෙකා ළඟ ඉතිරිව ඇති මනුස්සකමත් ආයතනගත ව්‍යුහයන් තුළට බද්ධ වූ ගමන් අතුරුදහන් වෙනවා කියන එක.අදාළ ව්‍යහුය තුළ ඇති සංස්කෘතිය මිනිහා තුළ ඉන්න සතාව අවදි කරවන සුළු එකක් නම් මන්සුසකම ඉවර වෙනවා. ඒ තුළ ඇති සංස්කෘතිය හා නීති රීති විසින් එබඳු අකටයුතුවලට එරෙහි එකක් නම් සහ දඬුවම් පිළිබඳ බියක් ඇති කරන සුළු එකක් නම් පුද්ගලයින් කවර හෝ පදනමකින් ඒ යහපාලනයට අනුව ක්‍රියාත්මක වෙනවා. අපට නැති වෙමින් යන්නේ එබඳු යහපත් සංස්කෘතීන්.. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් තුළ..

      Delete
  3. හරිම සංවේදී මේ පද ටික. අමානුශික සමාජයක් තමයි දැන් හැම තැනම . මනුස්සකම් බොහොම අඩුයි. වරදක් දැක්කත් අහක බලාගෙන අපිට යන්න වෙලා. කියාල දෙන්න ගිහාම ඇනුම් පද. තමන්ගෙ රාජ කාරිය දේවකාරිය සේ සලකන අය හරිම අඩුයි දැන්.

    ReplyDelete
  4. රෝගීන්ගේ පැත්තෙන් එක කතාවක්, වෛද්‍යවරුන්ගේ පැත්තෙන් තව කතාවක්... මුළු සමාජයම මුදල් හොයා යන තරඟයක ඉන්නකොට වෛද්‍යවරු විතරක් ඒකෙන් ගැලවෙයිද? මුදල් සොයා යන තරඟය හුදෙක් තණ්හාව නිසාමද? මේ හැමදෙයක්ම මැද්දේ මිනිස් ජීවිතයකට ලැබෙන්නේ මොන වගේ වටිනාකමක්ද? හැමදේම පැටලිච්ච සමාජයක, උත්තර හොයන්න අමාරු ප්‍රශ්න...

    ReplyDelete