Tuesday, January 31, 2017

සොඳුර, මේ රැය..





කඳු හෙමින් වැළඳ ගන්නා අතර
මධු විතක් පෙරා දෙයි සඳ වතුර
සොඳුර ඔබ ඇවිද ගිය තරු අතර
බිඳුණු යම් දෙයක් ඇත බිම වැතිර 


31-01-17

Saturday, January 28, 2017

උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා?




සළු පිළි ටික දියවෙනකං අඬන්න හැකි
අළු වෙනකං අඟුරු මතක දවන්න හැකි
දළු දමනා දුකට බණත්  කියන්න හැකි
කළුවර හිත එළිවෙනකං ඉඳින්න හැකි

කුර ගාගෙන දුක ආවේ මල් පාරේ
පර මල් උඩ සැදි යහනකි සංසාරේ
වෙර වීරිය මිස මොනවද එහි වූයේ
අර ගිලිහුණු කඳුළ ද අපි ගෙන ආවේ

හිත් අග පිපි මල් සේරම ගිලන් වෙලා
ඇත්තම නම් මුල් ඇත තව අලුත් වෙලා
සක්වල ගල හෙලවුණදෙන් වරින් වරා
උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා



27-01-2017



Saturday, January 21, 2017

අඳුර ගලන හඬ




අඳුර ගලන හඬ 
ඔබ වැයෙයි
විශ්වයව
මා තුළ


21-01-2017


Thursday, January 19, 2017

මෙතැන් සිට...,






ඉතා ගැඹුරුම තැනක 
තබා ඔබ කෙරෙහි වන ප්‍රේමය
පහන් එකිනෙක නිවී ගිය 
අඳුරු හද ගැබ 
කුලියට සඳක් ගෙන එල්ලමි

නොහඬන්න පිළිණ දී ඇති බැවින්
වේදනා පිනි කොට මුදවා
මායාමය තණ බිමක 
වෙව්ලන අතින් අතුරා
සුසුම්වත් නො හෙළා වැතිරෙමි

කාළ මේකුළු අහසින්
තාරකාවක් වැටෙන තුරු
පැතුමක් මිටින් තද කොට
ඔබ අවුළවා ගිය ගින්නෙහි 
ස්නේහ උල්කාෂ්මයක්ව ඇවිළෙමි

තාරකා මිටින් ගත නො හෙන බව
ඇතැම් විට ඒ තරුව 
මිය ගොස් බොහෝ කල් බව
දැන  නෙත් වසා මියැදෙමි
මෙතැන් සිට...,
ආලෝක වර්ෂ දහසක් නිදියමි


15-01-17

Tuesday, January 17, 2017

ප්‍රේමය





ඉර එළිය තරමට
පිරී ඉතිරී
සුලභවය තිබුණේ
එසඳ ප්‍රේමය

වෙහෙස වී 
හිරු මැරී ගිය විට
තරුවකුදු කඩා ගනු බැරි වෙන,
ඒ තමා 
අන්ධකාර ම යාමය



16-01-17

මලක් යනු




මලක් යනු 
පලක් ඇති දෙයක් නොවෙයි සකියනි
සුවඳ බෙදුමට තබා ඇති
විලවුන් බඳුනකට නො දෙවෙනි
වරක් දෙවරක් නොව සිය වරක්
රුදු වැසි මැදත් නො ගිලිහුණි
දිනක් ඒ මල තනිවම
කටු සිරියකින් ඇනගෙන
නටුවෙහි අග ම මියැදුණි


15-01-2017

බීම





වික්කල් ගැහෙන කවිපද
මතක මධුවිතක පොඟවාන
සීතයි කියා හිත හිත
උණු කඳුළු සැන්ඩි කොට ගිල දාන
වේගෙන් ගැහෙන හදවත
අයිස් කැට දෙකක හතරක දිය කරන
බොන එකත් ලේසි නෑ තමයි
පිළුණු ප්‍රේමය උගුරට ගේන

11-01-17

මම ගඟක්






මම ගඟක්
දෑළබඩ තුරුහිස්
මල් හෙලුවත්
නැතත්




11-01-17

දරාගැන්ම






රුසිරු මල් ලියකම්
සියුම් රේඛා කැටයම් 
මේ තරම් මනරම්
සියුම් ගල් කටු කෙටුම් රිදවුම්
දරා ගත් බැවිනි
ලොවට රහසින්

09-01-17

උච්ච සංධ්වනියක් අසල...





සොඳුරිය,
ඔබට ඇත්තේ 
සුරංගනාවියකට කන් දෙන්න 
සමණලුන්ගෙන් පියාපත් 
නොඉල්ලන්න
මම කැමති ඔබට දම් නීල 
පියාපත් දෙන්න
ඒ මත යන්තමින්
එමරල්ඩ් කොළ පැහැය තවරන්න

ඉතිං ඔබ කැමති නම්
සමණලුන් එක්ක 
ටික දුරක් ඉගිළෙන්න
මන්ද්‍රමය මිමිණුමක
උන්මාද ස්වර තන්තු මත ඉපිළෙන්න

ඇස් අඳුන් මැකෙන තුරු
හීනයක කිමිදෙන්න
මම කැමති 
ඒ හීනයේ කෙළවරක
තව හීනයක් අමුණන්න
ඔබ අවදි නොමවෙන්න

ඒක තානමය රඟහළක
වේදිකාවෙන් මඳක් බැස එන්න
රන් පාට සැඳෑවක
ඉතා කළබල වීදියක 
රොමෑන්තික ඔපෙරාවක්
කැරිබියන් නැටුමකින් කළඹන්න

ඇත්තට ම ඔබට ඇත්තේ
සුරංගනාවියකට කන් දෙන්න
හදවතක ඇත්තේ ගැස්මක් නොව
මන්ද්‍රමය නිද්‍රාවක සිට නැගෙන 
උච්ච සංධ්වනියක් බව පිළිගන්න


09-01-2016

ඉතිං ඔබ නවතින්න




ඇතැම් සිතුවම් අගේ
නිම නොකළ විට බැවින්
ඉතිං ඔබ නවතින්න 
පාට හත නැති තැනින්

සේදෙන්න නියම වූ
දේදුන්න කෙළවරින්
තාරකාවක් තබමි
මග අසනු මැන එයින්

04-01-17

සලකුණු




නොදත් ඉමකින් ඉපිද ඉපිළෙයි
නොම සිඳෙන ප්‍රේමයක සලකුණු
ඇවිත් නැවතී හිස තැබූ තැන
තිබේ නොමැකී මතක වත්සුණු
ඔබත් නොසැලූ මමත් නොසැලූ 
කඳුළක් ය මග දිගට විසිරුණු 
ගිමත් සුළඟෙහි තවම ඉතිරිය
වසන්තය අග විසුළ රොන් සුණු


30-12-2016

ගඟක නිම් නැති සෙනෙහස





රැළි නගා ඇදෙන කොට
සුළි අතර බිඳී විසිරෙන කොට
වරක් මියැදී යළිත් උපදින එක
එ් තමයි කාටවත් නො පෙනෙන
ගඟක නිම් නැති සෙනෙහස


29-12-2016

යාරා






පාරා මතක ගැඹුරු ගඟ දිය පතුළත
යාරාව ගලයි පෙර පුරුදු විලසට
නේරංජනාවකි අඬගසන එතෙරට
බේරා පෙරා විඳිමි රැළිලන සෙනෙහස 


24-12-2016

ඔබ නතර වුණ තැන





ගිම්හානයේ පැතිර තිබුණේ
නිම්නාද දෙන මදහසක්
සංසාරයක විඩා නිවනා
සිසිරමය මුදු සිහිලසක්
නිම්නයක් මැද සැදීි පැහැදෙයි
ප්‍රේමයට නම් දුන් තැනක්
ඔබ හෙමින් විත් නතර වුණ තැන
පිපී හිනැහෙයි මල් හුඟක්


20-12-2016