Tuesday, April 19, 2016

ප්‍රභානිය,



ප්‍රභානිය,

ඔබෙ වදන්
නො නිවෙන ආහ්ලාදයකින්
ඉගැඹුරු අගාධය‍කට
අතින් අල්ලා මා ගෙනයන

යන මඟ,
දම් රතු මලින් 
උන්මාදනීයව පොබයන
සත්සිය සැත්තෑ සතක් 
නෙක වණින් සැදි දේදුණු 
දිය ඇළිව මා මත වැගිරෙන
සීතල චුම්බනයකින් දෙතොල මත්කොට
රෝස මල් පැළඳගත් කටු මත
නර්තනරූපීව ඇවිද්දන

ඉපැරණී පිය ගැට පෙළෙහි පහළට
තවත් ගැඹුරට
රන් මකුළු හුයකින් බැඳ මා කැඳවන 

දියමන්ති වෙනුවට
වියළි මල් පෙති
‘දයාබර‘ යන තැනින් ඉරීගිය 
දිරූ කඩදහි
වැරහැලි රෙදි බෝනික්කන්
මැකුණු දිය සායම් චිත්‍ර
නිසි පරිදි තැන්පත් කොට තැබුණ 
ආගාරවල ඇවිද්දන

කංසාමය සිහිනයක
දින ගණන් දොඩමළුව තබන
කහ කොළ දුම් වළළු මැද තබා
සෙමෙන් පා කරවන

ප්‍රභානිය,
ඔබේ ස්වර ව්‍යංජන ඉස්පිලි පාපිලි
මායාමය ලෙස 
සැබෑව කරා මා ගෙන යන..
ඉගැඹුරු අගාධයෙන් ඉහළට
හෙමි හෙමින් ගෙනත් ඇරලන..

18-04-2016


ප්‍රභානිය*- මනූෂා ප්‍රභානි දිසානායක අපූරු කෙටිකතා ලියන්නියකි. මේ ඇගේ ලියවිලි මා තුළ ඉපැද්දවූ වර්ණ ය. 
පහත සබැඳිවල ඇත්තේ ඇගේ කෙටි කතා ය.

8 comments:

  1. මාලතිය,
    මා ද ලියන්නියක් බව සැබැවි
    එහෙත් නුඹ පරයන කවිකමක් නැති
    හැකි පමණ මෙසේ පුදමි තුති.

    තුති කුසුම

    මාලතිය,
    ප‍්‍රිය මෘදු කල්පනාවිය,
    කවුරු නම් රන් කිරි කට ගෑවෙහි ද ?
    සුවඳවත් සිතුවිලි සහිත නාමය කෙසේ නම් ලැබිණි ද ?
    නමටම ක‍්‍රියා - කෙසේ නම් සිදු කරන්නෙහි ද ?

    ප‍්‍රිය පුරුෂයන්ගේ පෙම්පත් සහසක් ඉවත ලා
    නුඹේ සෙනේ කවියට ඉඩ හදමි
    වැටුණු සමනළ තටුවලින් සහ
    පරමල් පෙති රැසෙන් මේ මොහොත රාමු කරනෙමි

    නටබුන් නගරයෙන් වන පෙත සරන්නෙම්
    වන පෙතින් කදු රැළ නැගෙන්නෙම්
    කදු රැළෙන් වළා මාළිගයට පනින්නෙම්
    වචනයෙන් හසරැළි ගෙනෙන්නෙම්
    නුඹ මෙසේ මා පා කරයි නම්...

    ප‍්‍රිය ස්ත‍්‍රිය,
    මා නුඹ කැටුව ගිය ආගාධයෙන්
    නුඹ මා කැටුව සක්වළට පැන
    තරු දුහුවිල්ලකින් මා නැහැවූ අරුමය !
    වෛර්ණය නම් මේය
    නුඹ විසින් මා මත හෙළුණු
    මා කිසි දිනක අත් නොවිඳි...

    සුදීප්තයෙන් , සුපැහැදිලියෙන්
    ආලෝකයත් පරයා පැන ඇවිත්
    මා හද පැහැරගති
    පෙරළා වැළඳගති
    එවදන් පෙළහරට මා සදා ණයගැති.

    ReplyDelete
    Replies
    1. “වැටුණු සමනළ තටුවලින් සහ
      පරමල් පෙති රැසෙන් මේ මොහොත රාමු කරනෙමි“
      ස්තූතියි ප්‍රභානිය...

      Delete
  2. බොහොම පරණ බ්ලොගයක්............... තාමත් දිගටම ලියැවෙනවා.... ඒත් පුදුමයි කිසිම සින්ඩියකින් පාර හොයා ගන්න ලැබුණේ නැහැ........ මොකක් ද මේ හේතුව......

    කොහොම හරි හොයාගත්තානේ...... ලේ පාට හීන අස්සේ තිබිලා තමා පාර හොයා ගත්තේ....... අප් සින්ඩියට දා ගත්තා.... මූලිකව ම අපේ නැවත පැමිණීමේ පහසුවට..... කමක් නැහැනේ....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  3. බූන්දියේ තියන කතා දෙක විතරයි කියවන්න පුළුවන්. ෆේස්බුක් එකේ තියන ඒවා බලන්න බැහැ. ක්ලෝස්ඩ් ගෲප් එකක වෙන්න ඇති තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක බලන්න විදිහක් හදන්න කියල මම කියන්නම් තිසර... ස්තූතියි.

      Delete
    2. දැන් ෆේස්බුක් එකේ තියෙන ඒවා පබ්ලික් වීව් දාල තියෙන්නෙ. ඕනෙම කෙනෙකුට බලන්න පුලුවන්.

      Delete