Tuesday, March 30, 2010

අන්තිමට මං ඔබව ඉම්බා...


ඔලිම්පස් කන්ද නොපෙනී ගිය රැයක
හඳට නිදිමත වුණ අහසේ
ඉටි පහනක්  අතේ තියන්
මං වලාකුළක ඉඳගෙන හිටියා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
ගින්දර අරන් ප්‍රොමිතියස් ආවෙත් නෑ

මං සීතලේ ගැහුණා
ඔබ උස හෙළක රැඳුණා
තරු කැට බිමට වැටුණා
දුක හිතී,
මැරුණු හිරු ඇස් පවා ඇඬුවා...
ඒත් ඔබ නැවතුණේ නෑ
තරු කැට දිහා නොබලා
රළු බොරළු කැට ඇහිඳන්
යන්න ගොස් තිබුණා

ඔබේ මුවහත් වචන උල්කා
මගෙ වලාකුළ ඉරුවා
ළය පැලී කිරි සයුර මැරුණා
වැහි ළිහිණියන්, රාජාලියන් , බත් කූරන්
බිම් මල් වඩම් අරගෙන
මළ ගෙදර ඇවිත් හිටියා
ඒත් ඔබ,
තරු කැට දිහා නොබලා
යන්න ගොස් තිබුණා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
වලාකුළු නැති අහසේ
වැළපෙන දාර්ශනිකයා, හෙරක්ලිටස් ළඟ
මං වැතිරිලා හිටියා

මම ඔබෙන් පිරුණා
මම මගෙන් මිදුණා
ඒත් මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා

එරීනාවම පැදකුණු කොට
පළිහ අසිපත විසි කොට
හිස් අතින් ඔබ සොයා ඇවිද විත්
ඉරී ලේ ගලන - පා ඇඟිලි තුඩු වලින් ඉස්සී
අන්තිමට,
..........................
මං
ඔබව
ඉම්බා...................

ඉතිං මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා.


03/10

Monday, March 15, 2010

නල්ලූර් හි රන් දෙවොල දුටිමි.


නල්ලූර් හි රන් දෙවොල දුටිමි.

මම යාපනයේ අභිමානය ඉදිරිපිට සිටගෙන සිටිමි.

ඉපැරණි යාපනයේ අගනුවර මැද සිට සියවස් දහයක් තිස්සේ රජවරුන්ද , සෙන්පතියන්ද , වැසියන්ද, වහලුන්ද, විමුක්තිකාමීන්ද, දේශපාලකයින්ද, ආක්‍රමණිකයින්ද, මැති ඇමැත්තන්ද, සෙබළුන්ද අනේක විධ භූමිකාවන් රඟනයුරු දකින්නට ඇති, ජයග්‍රහණයන්ද පරාජයන්ද, ලේ ද, කඳුළු ද දරන්නට ඇති නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට සිටගෙන සිටිමි. විටෙක මහා පරාක්‍රමබාහු රජු විසින්ද විටෙක පෘතුගීසින් අතින්ද තවත් විටෙක සිවිල් යුද්ධයේ සහ වෛරයේ ප්‍රතිඵලයක් ලෙසද බිඳ හෙළුණු මේ රන් දෙවොල බැස යන හිරුගේ රන් රැසින් නෑවෙමින් අළු මතින් නැගී සිට මා දෙස බලා සිටියි.


ද්වාර පාලක රූප දෙකකින් ආරක්ෂිත ඇතුළු වීමේ දොරටුව හා සීනු කණු හයක් මත ගොඩනැගුණු අංගනය විසිතුරු චිත්‍ර වලින් හා කැටයමින් ගැවසී ගනියි. ඉන් අනතුරුව ශිව, පාර්වති, ගණ, ලක්ෂ්මි, භද්‍රකාලි යන සියළු දෙවිවරුන් වැඳුම් පිදුම් ලබන දෙවොලයි. ඊසාන දෙසින් සිදම්බරම් මණ්ඩපයද උතුරින් නාන්දවනම් වසන්ත මණ්ඩපයද නැගෙනහිරින් යාග මණ්ඩපයද දකුණු පසින් තීර්ත කේනි මණ්ඩපයද තනා ඇත්තේ මණ්ඩාලය ශෛලියටය. දෙවොල මැද, තඹ කැටයමින් විභූතිමත් කරන ලද දොරටු සතක් එපිටින් දේව රූප දිස් වෙයි. වේට්ටියෙන්ද පූන නූලෙන්ද සැරසී ගත් පූජකවරුන් පූජා වතාවත් පවත්වන අතර උඩු කය නිරුවත් පිරිමි සහ නෙක පැහැ සාරි වලින් සැරසුණු කාන්තාවෝ බැතිබරව වැඳ වැටෙති; නමස්කාර කරති.

මම විසිතුරු චිත්‍රයෙන් හැඩ වුණු පියසි යටින් අලංකාර මණ්ඩප දෙසට ඇවිද යමි. සිදම්බරම් මණ්ඩපයෙහි සුවිසල් නටරාජා චිත්‍රයේ ජීවමාණ බව මට සෙසු සියල්ල අමතක කරවා මා ඒ වෙත බැඳ ගනියි. මේ වර්ණවත් පියසි , කැටයම් බිත්ති, වෙසෙසින් වැඳුම් පිදුම් ලබන දෙවිවරුන් නිවසන අලංකෘත ආගාර , ඝන්ඨා , සීනු නාදයෙන් රැළි නැගෙන සුවඳ දුමින් පිරි මද පවන, මට මා මිහි පිට සිටින බැව් අමතක කරවා වෙනත් ලොවක‍ට ගෙන යයි.

මම නිහඬ වෙමි. මගේ සිත අවට ශබ්ද වලින්ද රූප වලින්ද ක්‍රමයෙන් මිදෙනු මට දැනෙයි. මේ ආශ්චර්යය මට යමක් කියන්නට උත්සාහ දරණු මට හැඟෙයි. එවිට මට මතක් වන්න‍ට පටන් ගනියි. සියවස් ගණනාවක් තිස්සේ මා මෙතැන වන්දනා කළ අයුරු මට සිහිවෙයි .... මා නැවත පැමිණ ඇත. මම විස්මයට පත්ව යළිදු ශාන්තියට පත්වෙමි.

දෙනෙත් හැර බලන මට “හරෝ හරා” හඬ නගන බැතිමතුන් පෙනෙයි. ඒ අතරෙහි දකුණෙන් ආ පිරිසක් ද වෙයි. වරෙක කිරිබත් කා සිංහ කොඩිය බැඳගත් ඉණ වට, ඇඳ හුන් කමිසය ඔතා ගත්, මත් පැනින් ඇස් රතුවූ තරුණන් ද ඒ අතර වෙයි.

දකුණේ නඩයේ වියපත් සිංහල මවක ද්‍රවිඩ බසින් ගැයෙන යාතිකාවකට දෑත් බැඳ ගනියි. ඇය අසලම හඬ නගා භජන් ගයන දමිළ මවකි. මම විස්මයෙන් ඇළලී යමි. ඒ මුහුණවල් සමානය. ඒවායේ භක්තිය, කරුණාව, බලාපොරොත්තු, සංතුෂ්ඨීන් සහ සැඟවූ වේදනා එක බඳුව පිළිබිඹුවේ. ඔවුන් යදින භාෂාවන් වෙනස්ය. එහෙත් ඒ යැදුම එකකි. වඳිනයුරු වෙනස්ය, එහෙත් ඒ භක්තියේ තරම එකකි. එකම වෙනස නළලෙහි ගෑ තුන්නූර් හා කුංකුමය.

මම එන්නට හැරෙමි.
“මා මෙතැනට අයිතිය.” යළිත් මට සිහිවේ.


නල්ලූර්- යාපනය
11/03/10

Thursday, March 11, 2010

ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිද?


ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිද?


“ආදරය ජීවිතය ද ඉක්මවා යා හැකි දෙයක්ද? එය ශරීරයන් ඉක්මවමින් , සංස්කෘතීන් කඩමින් ඉදිරියට ගලන ගංගාවක්ද? ඇය ඇයටත් වඩා ආදරය කරන්නෙ කොහොමද?
කවියක් ඇතුලෙ විතරක්ද?
වචන වලට පණ ඇත්ද?
පණැති වචන...”


මේ පණැති වචන පසු ගිය දිනෙක “ගිරි බෙයද හැඬවූ කව” නම් ලියවිල්ලට comment එකක් ලෙස මිතුෙරකු ලියා තිබුණි. එය කියවීමෙන් පසු මෙය ලිවිය යුතු යයි මට හැඟුණි.

ආදරයට ජීවිතය ඉක්මවා යා හැකිය. මේ ග්‍රහ ලෝකය තුළ මේ තාක් යහපත් යමක් සිදු වුණි නම් ඒ තමන්ට වඩා අනෙකාට ‍හෝ අනෙක් හැමට ආදරය කළ කෙටි හෝ දිග මොහොතවල් වලදීය. එසේ කරන්නට බැරිවූ සෑම මොහොතක් විසින්ම පුද්ගලයාව හෝ මිනිස් වර්ගයා පරාජය කොට ඇත.එය විටෙක දේශපාලනික ද සෞන්දර්යාත්මක ද පාරභෞතික ද වෙමින් මමත්වය ඉක්මවා යයි. ආදරය සියල්ලෙහි මූලය වන්නා සේම සියළු ක්‍රියාවන්හි අග්‍ර ඵලයද වෙයි. එනම් ඇරඹුමද අවසානයද වෙයි. ආදරයට තමන් ඉක්මවන්නට නොහැකිය යනු සංස්කෘතිය විසින් තාර්කිකව ගොඩ නංවන ලද මුසාවකි. මිනිසුන් සිය ජීවිත කාලය තුළ අඩු වැඩි වශයෙන් ගංගාවන් බවට පත් වෙයි, ආත්මාර්ථයෙන් පිරී ඇතැයි සැලකෙන මිනිසෙකු පවා... ඒ ගංගාව ඔහුව මොහොතකට දෙවියන් බවට පත් කරයි. කෙනෙක් අනෙකාට හෝ සැමට සැබැවින්ම ආදරය කරන ඒ සෑම නිමේශයකම තමකම ඉක්මවා ගොස් ශුද්ධත්වයට පත්වෙයි.

දිගටම ගඟක් වී ගැලීම අසීරු සේම අභියෝගාත්මක වූ කරුණක් බව සැබෑය. මිනිස් වර්ගයා සැම විටම විස්මයට පත් කරන්නේ ද, උන්මාදයට හෝ ශාන්තියට පත් කරන්නේ ද, ජීවිතය ද, ශරීරය ද, සංස්කෘතිය ද ඉක්මවා යන ආදරය මිස අන් කිසිවක් නොවේ. ජීවිතය යනු කුඩා මොහොතවල් වලින් සැදුම් ගත් මහා ආඛ්‍යානයක් නම්, කළ යුත්තේ ඒ කුඩා අවස්ථාවන් හැකි අයුරින් ආදරයෙන් පිරවීමය. එය අපව මිනිසුන් සමග ද ඒ තුළින් විශ්වය සමග ද මුසු කරවයි.


එසේ ආදරය කරන කෙටි හෝ දිග මොහොතවල් වචන බවට පෙරළෙන ‍විට අකුරු පණ ලබයි. ගෝර්කි “අම්මා” ලියා මහ පොළොවටත් මිනිසුන්ටත් පණ දුන්නේ ආදරයෙන් පණ පෙවූ එබඳු අකුරු වලිනි.

ඔව්... වචන වලට පණ තිබේ....කවි වලට, ගහ කොළට , තරු වලට, මුහුදෙහි රැළි වලට, රිදී පැහැ වැස්ස‍ට, නිල් වන් ගොයමට සේම යන්ත්‍ර වලට ද පණ තිබේ. මම හොඳින් අසා සිටිමි. ඒවා හුස්ම ගන්නා හඬ මට ඇසේ.


10/03/10

Wednesday, March 10, 2010

කිළිනොච්චිය පසු කළෙමි...


කිළිනොච්චිය පසු කළෙමි.


අපි ඉතිහාසයේ මහා කඩතොළුවක් පසු කරමින් සිටියෙමු. ගොඩනැගිලි කිහිපයක හැර වහළ වල් ඉතිරිව තිබුණේ නැතිවා සේම ඉතිරිව තිබූ ඒවායේ බිත්ති අඟලින් අඟල සිදුරු වී ඇත. දොර ජනෙල් නම් ඇත්තේම නැත. කලෙක කොළ පැහැයෙන් දිලුම් දෙන්නට ඇතැයි සිතුන තල් අරඹ සහ ළඳු කැළෑ වෙනුවට දක්නට තිබුණේ මෝටාර් ප්‍රහාර වලින් තුරු හිස් සිඳ දැමුණු, දා ගිය තල් කඳන් හුදෙකලාව, ගිනියම් හිරු යටින්, කරසක සුළඟින් මැඩෙන අයුරුය.

A-9 මග දිග හැරුණු කොට, බොහෝ බිම් පෙදෙස් කහ පටි වලින් සහ මිනී ඔළු සහිත සළකුණු වලින් අනතුරුදායක පෙදෙස් බවට අඟවා තිබේ. ඒවායේ බිම් බෝම්බ තවමත් ඉවත් කරමින් පවතියි. හාත්පස පැතිරී ඇත්තේ “අනතුරුදායක” කැළෑ පඳුරු හා සිදුරු කරන ලද ගොඩනැගිලිය. නගරය මැද පුපුරවා පෙරළා දමනු ලද සුවිසල් වතුර ටැංකිය බිම වැතිර සිටියි. ඒ ඉදිරිපිට අටවා ගත් කඩ කිහිපයකි.

පිළිවෙලකට ඇත්තේ යුධ හමුදා කඳවුරු හෝ මූලස්ථාන පමණි. විවිධ පැහැයෙන් යුත් ධජ ඒවායෙන් අහසට නැගෙයි. කඳවුරු බිම නෙක පැහැ මල් වලින් අලංකෘතය. ඒවායෙන් පිටතට එන සෙබළුන්ගේ වෙහෙස සඟවන ලද මුහුණු අධිෂ්ඨානශීලීය, ප්‍රාණවත්ය.

යුධ හමුදාවට අමතරව සාමාන්‍ය වැසියෝද මෙහි වෙති. නින්දෙන් ඇවිදින්නාක් බඳු, නොපෙනෙන යමක් විසින් බියගන්වන ලද, සිනාසෙන්නට අමතකව ගිය, බොර පැහැ ඇස්වල කඳුළු තෙත නැති, සියවස් ගණනාවක් පෘථිවි අභ්‍යන්තරයේ සිර කරනු ලැබ සිට හිරු එළියට නිරාවරණය කරන ලද ඒ මිනිස්සු ජංගම බැංකුවක් අසල පොදි කමින් සිටිති. තමන් පසුකරමින් යාපනය “බලන්නට” යන දකුණේ මිනිසුන් රැගත් වාහන දෙස ඔවුහු බලා හිඳිති. ඒ බැල්මෙහි විස්මයක්, ප්‍රමෝදයක්, කෝපයක් මතු නොව උනන්දුවකුදු නැත. මූර්ති බඳු ඒ මුහුණු ඉතිහාසයේ දුක් වේදනා මිස වර්තමානයේ කිසිදු හැඟීමක් පිළිබිඹු නොකරයි.

බිඳ වැටුණු නගරයක් ...බිම වැටී, පෑගී, යළි නැගී , යළි යළි වැටී, රිදී ඔද්දල් වී අසීරුවෙන් පොළට මත සිටගෙන අන්දමන්දව වටපිට බලන මිනිසුන්.... සගයින් අහිමි කළ මතකයන් විසින් දිරි ගන්වනු ලබන, නිළ ඇඳුම් තුළ හිඳින මිනිසුන් හෙවත් සෙබළුන්....

වාහනයේද කර්කශ සුළ‍ඟෙහිද හඬ අභිබවා ඒ ගොළු නගරයෙහි ආත්මය කෙඳිරි ගාන හඬ මට ඇසෙයි. ගොඩනැගිලි සිදුරු කළ උණ්ඩ මිනිසුන් සිදුරු කළ අයුරු ඉන් ඇසෙයි. විවිධ නම් වලින් හැඳින්වුණු, විවිධ ජාතීන්ට, ගෝත්‍ර වලට , ආගම් වලට අයත්ව සිටි , විවිධ නිළ ඇඳුම් හැඳ සටන් කළ, එහෙත් සිය මූලික ස්වභාවයෙන් මිනිසුන්ම වු, මේ පොළව මත ඇද වැටී මිය ගිය ඔවුන්ගේ අවසාන සුසුම් මගේ සිරුර විනිවිද යනු මට දැනෙයි.

ඒ සුසුම් මුසු සුළඟින්, දා ගිය තල් ගස් වල කළු ගැසුණු පොතු බිම වැටෙයි. තවම සොයා නොගත්, වල දැමූ බිම් බෝම්බ මත පැළ වුණ කොළ පැහැ පඳුරු සෙමෙන් සෙලවෙයි. පෝලිම් වල බලා සිටින මිනිසුන්ගේද, නිළ ඇඳුම් හැඳ අවි දරණ මිනිසුන්ගේද, නගරය පසු කරන අපේද සිරුරුවල හී ගඩු නැගෙයි.


එවිට අපි අවදි වන්නට පටන් ගනිමු. සෙමෙන් ... පියව‍ෙරන් පියවර....අළුත්ම අළුත් නොවුණ ද බලාපොරොත්තුවේ සුසුම්... සවිඥානිකව ඉහළ පහළ හෙළන්නට පටන් ගනිමු.

ඒවායින්, ඉතිහාසය පුරාවට බිත්ති වල සැදුණු සිදුරු වැසෙන්නට පටන් ගනියි.. අළුත් තල් පැළ ඒ සුසුම් වල රිද්මයට පොළවෙන් න‍ැගෙන්නට පටන් ගනියි...දුහුවිලි මැදින් කාලය පණ ලබයි. එවිට , අනාගතයේ දිනෙක, ළමුන්, ගැහැණුන් හා වැඩ කරන මිනිසුන් විසින් ‍මේ නගර යළි ගොඩ නගනු ඇත.


-10/03/10
යාපනයේ, නල්ලූර් හිදී

Sunday, March 7, 2010

ගිරි බෙයද හැඬවූ කව [සිහිගිරි නොගිය ඔහු සහ කැටපත් පවුරෙහි නොලියූ ඇය]


ගිරි බෙයද හැඬවූ කව

ඔහු:   සිහිගිරි නැගි බුදල්හු නොවෙමි
         කවි නොලියාම කවියෙක් ද නොවෙමි
         එහෙත් මේ ගිරි බෙයද කවි වලින් වසමි
         මම යමක් ලියමි
         මම නුඹට ආදරෙයි
                            
 ඇය:  සිහිගිරි සිතුවමක් නොවෙමි
          ගිරි බෙයද හැඬවූ කුරුටු ගීය ද නොවෙමි
          බොහෝ දන ලියා ලූ තැන්ද මග හරිමි
          කවුරුත්ම නොලියූ කවිය මම අඳිමි
          මම මට වඩා ආදරෙයි.

ඔහු:   සිංහ පාමුල ලියමි
         කුරුටු ගී වසුරු තැන
         ආදරය ගැන සොයමි
         සිංහ නිය පහුරු මැද
         වේදනා රැඳුණු තැන
         ආදරය මම දකිමි
         ගිරි බෙයද අත හරිමි

ඇය:  අත්හැරිය ගිරි බෙයද වෙත දුවමි
         කවි දකිමි, එහි නුඹ දකිමි
         සිංහ පාමුල වැද හඬමි
         නිය පසුරු දුක දරමි
         ආදරය සිහිගිරිය නොව
         නුඹය, නුඹමය
         දනිමි!


-සිහිගිරි නොගිය ඔහු සහ කැටපත් පවුරෙහි නොලියූ ඇය-
04-03-10

Wednesday, March 3, 2010

ගොළුවුණ මා ළඟ, ඔබ...


ගොළුවුණ මා ළඟ, ඔබ...


ගිරි හිසක සඳ       ඇමිණි
ලේ ගලා අහසම තෙමුණි
වැහි බි‍ඳක කඳුළ  දුටුවේ
මග මැරුණ තරු   පමණි

ඇඟිලි තුඩු අග       රැඳුණු
ඇඟිලි හිම වී          මිදුණි
සුසුම් මුදු නල       සැඩවී
ලවන් ලිය පත්    සැලුණි

තරු තිතක් මත    ඇඳුණු
මලෙක කටු මත  වැටුණු
කඳුළ අඳුරට           පිටදී
සොඳුරු නැති කවි මිමිණු

අහස පොළොවට නැමුණි
හිරු තනි කමෙන්   දැවුණි
සයුර වෙරළෙහි   ගොළුවී
කප් සුවහසක්      ගෙවුණි

තාර සළුපට මග         දිග
නියොන් තරු එළි වැටුණි
තැ‍ෙබන තැ‍ෙබනා පියවර
නිහඬ ගිතය          ඇසුණි

හිරු ද සඳු වී          පිපුනි
වෙරළ සිඹ සිඳු     ඇදුණි
මුදුව හිනැහුන       සඳුනි
මා නුඹ ළඟම       නිවුනි

26/02/2010