Tuesday, March 30, 2010

අන්තිමට මං ඔබව ඉම්බා...


ඔලිම්පස් කන්ද නොපෙනී ගිය රැයක
හඳට නිදිමත වුණ අහසේ
ඉටි පහනක්  අතේ තියන්
මං වලාකුළක ඉඳගෙන හිටියා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
ගින්දර අරන් ප්‍රොමිතියස් ආවෙත් නෑ

මං සීතලේ ගැහුණා
ඔබ උස හෙළක රැඳුණා
තරු කැට බිමට වැටුණා
දුක හිතී,
මැරුණු හිරු ඇස් පවා ඇඬුවා...
ඒත් ඔබ නැවතුණේ නෑ
තරු කැට දිහා නොබලා
රළු බොරළු කැට ඇහිඳන්
යන්න ගොස් තිබුණා

ඔබේ මුවහත් වචන උල්කා
මගෙ වලාකුළ ඉරුවා
ළය පැලී කිරි සයුර මැරුණා
වැහි ළිහිණියන්, රාජාලියන් , බත් කූරන්
බිම් මල් වඩම් අරගෙන
මළ ගෙදර ඇවිත් හිටියා
ඒත් ඔබ,
තරු කැට දිහා නොබලා
යන්න ගොස් තිබුණා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
වලාකුළු නැති අහසේ
වැළපෙන දාර්ශනිකයා, හෙරක්ලිටස් ළඟ
මං වැතිරිලා හිටියා

මම ඔබෙන් පිරුණා
මම මගෙන් මිදුණා
ඒත් මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා

එරීනාවම පැදකුණු කොට
පළිහ අසිපත විසි කොට
හිස් අතින් ඔබ සොයා ඇවිද විත්
ඉරී ලේ ගලන - පා ඇඟිලි තුඩු වලින් ඉස්සී
අන්තිමට,
..........................
මං
ඔබව
ඉම්බා...................

ඉතිං මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා.


03/10

2 comments:

  1. Anonymous31/3/10 21:40

    නොමැරුණු තරුවක් හොයාන
    කඳු මුදුනට නැග්ග මට හිනාවෙවී
    තරු කැට ගිලිහිලා වැටුණා
    සීතල මීදුමට වැහුණු
    ඔලිම්පස් කන්දට උඩින්
    ගිලිහිලා වැටුණු තරුකැට
    මුහුදු වතුරෙන් පෙඟී නිවුණා

    වලාකුළක පාවුන ඉටි පහන
    සුළඟ නොසෙල්ලී නතරවුණු
    වැහි කුණාටු නැති වළාල මුහුදේ
    පා නොවෙන රැලි එක්ක
    සුසුම්ලන ඔරුවක ​තනිවුනු මට
    හිනා වෙවී අත වනන
    උතුරු තරුව වගේ පෙණුනා

    ඒත් මම ගියා ...
    දැලත් බිලි පිත්තත්
    නැවතිච්ච ඔරුවත්
    මුහුදු වතුර යට හංගල
    මම ගියා ...

    වැහි කුණාටුත් නෑ
    කෑලි කපන්න තරම් අඳුරත් නෑ
    වලාකුළක රැඳවුනු
    ඉටි පහනක් විතරමයි

    ඈරීනාව මැද උඩුබැල්ලෙන්
    බලා ඉන්න මට පේන්නෙ දැන්
    නොපියවුනු ඈස් දෙක පියවන තුරු
    කවුරුම හරි ඈවිත් ...

    චුම්බණයකට පුළුවන්ද ...?

    පරක්කුයි දැන්.

    ReplyDelete
  2. Anonymous21/4/10 05:46

    උත්සාහ කරල බලන්න.... බැරි ෙවන ඒකක් නෑ....

    ReplyDelete