Sunday, April 1, 2012

අන්තිමට මහපොළව...


පියාසැරියට තවත් සවි නැතුව
වලාකුළු ඉරාගෙන  බිම වැටුණ
තුරු හිසක තනි විහඟ -තටු පියා ඉන්න කොට
දන්නවද වැස්ස වී අහස බිම වැටුණු බව

හඳ කිව්වෙ කිසි දෙයක් නො දුටු බව
තරු හිටියෙ ඇස් පියන් බිමට කර
මල් වැටී පොළව උඩ-ඇස් පියා ගන්න කොට
දන්නවද ගහ වුනත්  හිත යටින් ඇඬුව බව

ගඟ ගැලුවෙ උල්පතට කියාගෙන
රැළි නැගුවෙ මහ මුහුද හොයාගෙන
ඇස් දෙකට පිරුණාම -ඒ මුහුදෙ ලුණු වතුර
දන්නවද ගඟ ඇඬුවෙ යන ගමන් ගලාගෙන

වේදනා කඳු අතර සුසුම්ලන
ප්‍රේමයේ මීදුමට වැහීගෙන
හෙවණැලිත් නොතබාම මැකෙන විට උදෑසන
දන්නවද මහ පොළව හිටියෙ හිත හදාගෙන

1 comment:

  1. Anonymous1/4/12 12:29

    හීනයක හෙවනැල්ල
    ඉර එළිය ගිලගත්ත උදාසන
    ජීවිතය ජයගන්න
    හදවතේ ගෙලකපා සිනාසෙන

    දහස් දහසක් විහඟ
    තටු කැපී කූඩුවී පියාඹන
    මහපොළව තෙමුනාද
    අහස ඔය කඳුළුපැන් ඉස්සාට...!

    ReplyDelete