ඇගේ නම මරියා
හැම කඳුළු කවුළුව ම ඇරියා
උතුරුකුරු තරු ලකුණ විමසා
උතුරු අහසට සිතින් නැගුණා
හමුවුණා නම් ඔබට,
ඈ නමින් මරියා...
හද විසල් බව දරණු බැරි වී
සොවින් කෘෂ වූ සිරුර වැහැරී
ඇහුවේ ම නින්දෙනුත් ඇහැරී
'කෝ පුතා, කෝ?' කියා පමණී
දිවැසිවර අනාවැකි ගොළු වුණ
සුරදූතයින් තවත් නො ගයන
එක් නිහඬ කළුවර ම හවසක
උන් අරන් ගියා මුළු අහස ම
වමට හිස ඇල කරගෙන
මියෙන පුතුනට දිරිදෙන
සංසාර කපාලය පාමුළ
හිතේ මුළු වැස්ස ම වස්සන
දැවි දැවී යවට වී උණුවෙත
මුළු අහස එකළු කළ තරු රැස
පණ ගැහෙන හදවතක ගැඹුරක
ස්නේහය ම පමණක් ද වරපට
ඉරි තලා ගිය වසත් ළය මත
තබන්නී අවසාන රතු මල
උතුරින් ද දකුණින් ද දිනයෙක
තරු නැගෙන තුරු දෑස නො පියෙන
හමුවුණා නම් ඔබට,
ඈ නමින් මරියා.
Nice rhyme...
ReplyDeleteඅනගි වියමනකි ඇස් අග කිතිකවන
ReplyDelete