Thursday, April 5, 2012

ඉතින් අපි වැළඳගෙන සමු ගතිමු.



ජීවිතය බොහෝ නැණවත් ය. එය  බොහෝවිට  අප අභිමුඛ කරවන්නේ තෝරා බේරා ගත් දේවල්වලට ය. එය කාලයේ වන පෙත පීරා, නිශ්චල විල් දියෙහි කිමිද , වෘක්ෂ මුල් තුළට කිඳා බැස එතුළ සැඟව ගිය මහරු දේ රැගෙන අප ඉදිරියේ තබයි. එවිට අපට සමස්තය තුළ ඇති ක්ෂුද්‍ර බව ද මහා බව ද එක වර පසක් වෙයි. 

ධූලි මට යළිත් හමුවන්නේ ඒ නියමය මත ය. මින් හරියට ම වසරකට පෙර ගුජරාටයේ ඈත කෙළවරක පිහිටි දේවපුර ග්‍රාමයේ දී මට හමුවූ ඒ දිරිය ළඳ අද රතුපාට පලසක් මත හිඳගෙන මා අභියස ඉඳී. මෙවර ඇගේ හරිතාගාරයෙන් ද සාමූහික බදු ඉඩමෙන් ද මඳකට විවේක ගෙන ආනන්ද් දිස්ත්‍රික්කයේ පීජ් හි ප්‍රජා පුහුණු මධ්‍යස්ථානයක් තුළ... විය යුතු පරිදි ම ඇය මා හඳුනා ගන්නේ නැත. ගියවර අප හමුවූයේ අඳුරේ ය. මා මෙන්ම ඇය ද වැඩවල ගිලී උන් අතර එකිනෙකාට කතා කර ගත්තේ  වචන කිහිපයකි. ඒ ද සමුගන්නා මොහොතේ ය. එදා ඒ විසල් රුක යට මගේ දෑත් වැළඳගෙන සමුගත් ධූලී යළිත් මා ඉදිරිපිට ය.
ධූලි ගැන පසුගිය සටහන
 

ධූලී, ග්‍රමීය කාන්තා කණ්ඩායමක නායිකාවකි. වයස අවුරුදු පණහක් පමණ වන්නට ඇත. තවත් ගැහැණුන් කිහිප දෙනෙකු හි එක්ව රජයේ ඉඩමක් බද්දට ගෙන වගා කටයුතු කරමින් ආදායම් උපයමින් ඒවියේ ලාභ බෙදා ගනිමින් තවත් අයට රැකියා අවස්ථා සලසමින් ඔවුහු වැඩ කරමින් සිටිති. අද ඇය සිය මධ්‍යස්ථානය වෙත පැමිණ සිටින්නී, අප සමඟ රාජකාරී කතා බහකට ය. 
ධූලි

මම ඇයගේ නමින් ඇය අමතමි.

‘ධූලී බෙන්’


ඇය විස්මයෙන් මා දෙස බලයි. මා හඳුනා ගනියි. ඉනික්බිතිව එළඹෙන සාකච්ඡාව තුළ ඇය සිය කණ්ඩායමේ ගමන ගැන ද පසුගිය වසර තුළ ඔවුන්ගේ  දියුණුව ගැන ද විස්තර කරයි. මහන්සි වූ පරිදි ගිය වසරේ ශුද්ධ ලාභය ලෙස ඔවුන් ඉන්දියානු රුපියල් 25,000 ක් උපයා ඇත. වසර පහළොවක ඉඩමේ බදු කාලය තව වසර පහකින් ගෙවෙන්නට නියමිත ය. යළිත් වරක් බද්ද අලුත්කරවා ගැනීම ඇගේ අභිප්‍රාය යි. 


මුළු ලොවම දුගී බව තුරන් කිරීමේ ක්‍රමවේද උදෙසා කෙස් පලමින් යළි යළිත් ආසර්ථක වෙමින් සිටින මොහොතක මේ නූගත්, අකුරු ලියන්නට නො දැන සිටි, ජීවත් වීමට රැකියාවක් තබා ඉඩමක්, ජලය, විදුලිය පවා නැති ගැහැණුන් සාමූහිකව කළමණාකරණ පුහුණු සහ කෘෂිකරේමික පුහුණු ලබා ගනිමින් ඉඩමක් වගා කොට එහි පැල තවානක්, හරිතාගාරයක් සහ වෙනත් ප්‍රජා සංවර්ධන කටයුතු රැසක් පවත්වාගෙන යන්නේ ලාභ ලබමිනි. හුදෙක් රජයේ අනුග්‍රහයකින් තොරව... තමන්ගේම කාන්තා බැංකුවක ඉතිරි කරමින්. කළ නො හැක්කක් නැති බව වටහා ගැනීමට ඔබ ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය මත ට ගොඩ බැසිය යුතු නැත. මේ ගැහැණුන්ට සවන් දීම ම ඔබට එය පසක් කරවනු ඇත.


වසර දහයකට පසු අද ඔවුහු තවත් කාන්තාවන් පුහුණු කරන ප්‍රධාන පුහුණුකාරියන් ලෙස ක්‍රියා කරති. ගිණුම් තබමින් ව්‍යාපාර කටයුතු කරති. බැංකු ගණුදෙණු කරති. ඉහළ මට්ටමේ සාකච්ඡාවලට ඉඳ ගනිමින් දුගී ඉන්දියනු කාන්තාව ආර්ථික වශයෙන් ගොඩ නංවනු වස් සැලසුම් සදති.

ඈ සමඟ ඡායාරූපයක් ගැනීමට සූදානම් වූ විට හිනැහෙමින් මා අසලට පැමිණි ඇය මා විස්මපත් කළේ සිය වමත මගේ කරවටා දමමිනි. ඒ ඇය මිතුරියක ලෙස පිළිගත් හැටිය.මා ඇයට ලිපියක් ලියන බැව් මට ම කියා ගතිමි. ඇය එය කාට හෝ කියා පරිවර්තනය කර ගනු ඇත.  ඒ අතර මා මගේ  පොළොව මත මගේ සිහිනය උදෙසා වෙහෙස වෙමින් සිටිනු ඇත. 


දූවිල්ලෙන් පිරුණු, උෂ්ණත්වය 42 °C ක් වී අප දවන ගුජරාටය ඒ උණුසුම මැද පවා හැමදාම මෙන් ම වර්ණවත් ය.සජීවී ය. විසල් ඉදිකිරීම් පාමුල දූලි ගාගෙන මහ පාරේ සෙල්ලම් කරන කුඩා දරුවන්ගෙන් ද කොතෙකුත් නටමින්ද ගයමින් ද කොඩි වනමින් ද නගරය පුරා පෙළට යන පෙරහැරවලින් ද කිසිදු නීතියක් නො තකා රිසි සේ මහ මඟ ඇවිදින මගීන්ගෙන් හා මාර්‍ග සංඥා සතයකට මායිම් නොකර නළාවෙන් රිය පදවන රියැදුරන්ගෙන් ද  බැටන් පොල්ල පමණක් අතැතිව අකීකරු වාහනවල පසුපසට එය දිගු කරන පොලිස් නිළධාරින්ගෙන් ද පළතුරු කරත්තවලින්ද එකවර පිරී උතුරන අහමදාබාදයට වඩා ග්‍රාමීය ගුජරාටය නිසංසල ය. මිත්‍රශීලී ය.


ඉතින් අපි වැළඳගෙන සමු ගතිමු.


යළිත් අප හමුවනු ඇත.


04-04-2012
අහමදාබාද්

5 comments:

  1. වටින විස්තරයක්.....

    ReplyDelete
  2. My God !! This is Sewa Women's Federation ? Right ? Well their bank is registered under Reserved Bank of India having 7 branches in Rural Gujrat I guess

    In Gujrat they use the word Ben= Sister

    And the first photo is from RUDI ?-their company of processing , packaging spices right ? And clothes belong to their ethnic Indian Brand Hansiba ( earlier name was Banas Craft? If get a time pls meet the embroidery artisan group of them in Anand District . Simply these women are amazing , unbelievable .

    I gues this is an initiative of Elaa Badh who was recognized for her work related to women empowerment and in Hindi for " Dhusri Azadi " - Freedom from Poverty .

    ReplyDelete
  3. Thanks to both of you for commenting.
    @ TG, Yes, This is about SEWA initiative and you are correct at all the points about their history and the photographs here.The last photograph is from Hansiba. The processing center is the one in Pij-Anand district. We are working with them for last two years, hence I have visited almost all the groups and centers scattered all over the Gujarat, including the artisan group you mentioned.

    I am glad to know that you know all about these and guess you are also in to development work.

    Wish you more courage to serve more.

    KIT

    ReplyDelete
  4. A very well post. I liked the post and have also bookmarked you. All the best for future endeavors
    cashew ice cream

    ReplyDelete
  5. @ dynamicdreamz,
    Thank you.

    ReplyDelete