Tuesday, March 5, 2013

කළු ගඟ පමණක් අසා උන් දෙබසක්




රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.


අම්මා:

මගෙ සුදු දුව කොතැන ගියේ 
රන්සළු විල් දියට ගියේ
දියේ මලක් පිපිලා යේ
එමල කඩා එන්ට ගියේ

දුව:

අම්මේ මං ගඟේ ගියේ
බෝ සමිඳු ට කියා ගියේ
වේලක් සරි කර ගන්නට
අරුංගලය එවා තියේ

අම්මා:

රනින් නෙළා ගත් දෝණී
රන් කිරි කට ගෑ දෝණී
රන්වන් සළු වියු දෝණී
රන් දියඹට ගිය දෝණී

දුව:

රන් කිරි මතකය පමණී
රන් විමනක සුව නූනී
රන්වන් හදවත බිඳුණී
උඹ නාඬන් උලලේනී

අම්මා:

උඩු නියරේ පැකිළෙම්මා
යටි නියරේ වැටුනෙම්මා
රන් කිරි කර පෙව්වෙම්මා
උඹ කොහෙදෝ මයෙ අම්මා

දුව:

ලිප ගිනි රතු මල් පිපෙන්න
මල්ලිට රංකිරි පොවන්න
රන් නූලෙන් සළු මැහුවේ
සංසාරෙන් එතෙර වෙන්න

අම්මා:

අනේ පුතේ ඇතින්නියා
උඹ එන මඟ රකින්නියා
පොලීසියට දුවන්නියා
කනේ කොහොඹ හලන්නියා

දුව:

මයෙ අප්පා කළුම කළුයි
මයෙ අම්මා කළුම කළුයි
මං හැංඟුණ ගඟත් කළුයි
ඒ හින්දා මාත් කළුයි

අම්මා:

නිම්මා නැති සංසාරේ
පෙම්මා නැති මල් පීදේ
උඹ බුදු වෙන මතු වාරේ
අම්මා වෙමි ඒ වාරේ

දුව:

මෙතේ බුදුන් ළඟ මෙතිනේ
දහම් දීප සඟ සරණේ
පෙරුම් පුරන බෝසතුනේ
රනින් ද නිවනත් හැදුණේ




5 comments:

  1. //රනින් ද නිවනත් හැදුණේ//

    ඉතාම සංවේදී කවි පෙළක්.... ඇසට කඳුළක් ගෙනාවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර.

      Delete
  2. ලස්සන සංවේදී කවි පෙලක්!!!

    ReplyDelete
  3. හරිම සංවේදී සටහනක් වලිස්සා. නිවන හැමටම එකවගේ ද? ඉපදීම නැතිකිරීම තමයි කරන්න වෙන්නෙ.ඉපදීම දුකකි.

    ReplyDelete
  4. @ හිතුවක්කාරි සහ චන්දි , ස්තූතියි.

    ReplyDelete