Thursday, June 15, 2017

කාන්තාරමය ගමනක, මා එක්ක ඔබ....



ඉරි තැළුණ දෙපයකි
වේදනා නිම්නයක
ගණන් නැති කැළැල් යට 
හතිලන 

දහස් වර මිය ගිය ද
තවමත් නො මළ හදවතකි
කිහිරඟුරු අළු මතින් යළි
ඉපදුණ

සිදුරු වූ ඒ හදෙහි
උනා ඉහිරෙන රුහිරු ඌලකි
මස් ඉරන නිය ගසන සතුන්ටත්
පැන් දෙන

අඩකට මඳක් වැඩියෙන් 
සිඳුණු බඳුනකි
නොමසුරුව දිය බී
යනෙන අය තබා යන
හලාහල දෙතොල් සලකුණු 
නොමැකුණ 

කඩමළු ඔලොගුවක
ලෙලවෙන සිහින නදියකි
බිඳෙන ඉකිලන
රළ රැළි යටින්
කැළතෙන

ඔබ...
එවන් යුග යුග ගමනක 
පියෙන් පිය අස දෙපා සළකුණ
දිලුම් දෙවමින් උරින් දරමින් 
ඇස‘ග රැළිලන සයුරු 
සිඳවන
ඇසිල්ලකවත් 
දෑත් අත් නො හැරුණ



30-04-17

No comments:

Post a Comment