Friday, November 29, 2013






කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව 
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

29|11|13




Saturday, November 16, 2013

ඉපැරණි ම සුපෙම් ලියවැල


නින්දෙන් පවා මහවැලි ගං දිය තාල කම් කළ 
සුන්දර සිපුම් ඉවසන ගලහ මඟ දිග තුරු වැල
කන්දක රහස් සඟවන හන්තාන, පණැති කඳු පෙළ
දුම්බර පවා ඇඬුවා අතිනත් ලිහුණු තැන්වල

අඳුරු මංපෙත් තණ මත, පිනි කැට සෙමින් වැතිරුණ
නුදුරු නාදන් සුසුමකි, හිල්ඩා බිමෙහි දැවටුණ 
නුහුරු ආදර පිය ගැට, සරසවි උයන ළඟ නිම වුණ 
සොඳුරු කඳු ගැටයක දෙව් මැඳුර කාගෙත් කෙම්බිම

වේදනා ඌලකින්, ජීවිතේ සඳ දිය වස්සන 
නෑ‍හෙනා තරමට, හෙමින් මහවැලිය ගැස්සෙන
පෑදෙනා විට රැයෙක, දිය මත අක්බාර් සිත්තම 
පීදුනා වළ ට ඉහළින්, සුන්දර ම අහසක ලස්සන

දෑස් සිය දහසක් ඉම්බ මල් ලිය කම් වැල
වෑස්සුණු ප්‍රේමය ගල් කණු පවා මත් කළ
රාස්සිගෙ අව් රැළි යට, තෙල් බැම්ම කෙළවර
රූස්ස ම සංහිඳ, ඒ ටී ශිල්ප රඟහල

අඩ විතකි කෙටි බිතු මත, ලඹ දෙන මතක අහුරකි
මහපොළ යනු ම සසරක අතර මඟ හිමිදිරියකි
මිතුරු මතකය ගල් කළ ඉපැරණි පොළොන්නරුවකි
සිංහයෝ උඹ තරමට හිනා ගැස්සූ කෙනෙක් තව නැති

පාරා කාලයේ වනපෙත, පාදා ගනිමි ජීවිතේ හදවත
සිඹිමි දම්-සුදු මල් ගස, ‘සිඹින වංගුව’ පතුළත
යාරා ගඟත් පසු කොට පෑරි පෑරී සැරුව මග තොට
පේරාදෙණිය ඔබ වන්, තුංග සුවිසල් ලොවක් තව නැත


13-11-2013





Friday, August 9, 2013

සිවගාමී



පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳ

රණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිද
එක'තක මතක තව අතෙකින් මරණය ද
ලඹ දෙන නිදහසට අරුතක් තියෙනවද

හොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙන
එරන්වන් බිමෙහි දෑසට තෙත උනන
උරෙන් උර ගැටුණු හදවත් පැළුණු තැන
පරන්තන් ළයෙන් තවමත් ලේ ගලන

පොවා රන් කිරෙන් සැදු දරු මළ සොවින
කවා සුරැකි දෑතින් පහනක් රැඟෙන
තියා නළල නල්ලූර් පුදබිම සිඹින
පියා දෑස මවුවරු වැළපෙති මෙතැන

සරතැස දරණු බැරි, අළු වී යන සකුණී
මඳහස නඟා අසිපත් එක්වනු දුටිමි
උදහස මුර කරයි කොයි කාටත් නොපෙනී
නිදහස යනුම හිරගෙදරකි සිවගාමී

20 July 2013

[*සිවගාමී: සුබ්‍රමනියම් සිවගාමී හෙවත් තමිලිනී ]

Wednesday, July 31, 2013

ප්‍රියේ නුඹ ම.......!



මරණය ඇතැම් මිනිසුන්ව කාලයේ වැලි තලාව යට සඟවා දමයි. ඇතැම් මිනිසුන්ව සදාකාලික අමරණීය බවට ඔසවයි.   ඔහු මරා දමද් දී අප ළමයින් ය. ඒ අඳුරු රාත්‍රියෙන් පසු ඔහු ගැන දහසක් සටහන් ලියවී ඇත. තවත් දස දහසක් සටහන් ලියවෙනු ඇත. එබඳු සියලු සටහන් අතර දුහුවිලි කඳුළක් පමණක් වන මේ  සටහන ඔහු ව කිසිදා නොදුටු , එහෙත් 1989 දී ඔහුගේ මරණය අසා දුක සිතී හැඬූ කුඩා ළමයෙකු  වසර විසි හතරකට පසු ත් ඔහු ජීවත් වන බව අදහමින්  ලියා තබන්නකි.

ප්‍රේමය ඔහු තරම් දිව්‍යමය ලෙස සිත්තම් කළ, සිය පරිකල්පනීය සෞන්දර්යයේ මහිමාවෙන් ඉන්ද්‍රජාලයක් සේ අප බන්ධනය කළ අනෙකෙකු මා දැක නැත. අපට කලින් තරුණව උන් පරම්පරාවට ප්‍රේමයේ සෞන්දර්යය මායාවක් නොවන වග කියා දුන් ඔහු එයින් පසු උපන් , ඉදිරියට ද ඉපදෙන බොහෝ හදවත්වලට මනුෂ්‍යයෙකු තුළ තවත් මනුෂ්‍යයෙකු කෙරෙහි පහල වන්නා වූ ප්‍රේමය නම් වූ අපරිමිත හැඟීම ස්පර්ශ කොට විඳිය හැක්කක්ය යන විශ්වාසය දී, 1989 අද වැනි දවසක සමු නො ගෙනම ප්‍රේම පරාදීසයකට නික්ම ගියේය. ලක්ශාන්ත වරක් ලියූ පරිදි ඔහුට කොකා ගැස්සූ ගිනි අවිය හිමිකරුවා ද වරක් හෝ ඔහුගේ ගීතයකින් සැනසුනෙක් විය යුතුය.

අනේකවිධ ආර්ථික, සාමාජයීය, දේශපාලනික සංකල්ප තුළ ද මිනිසාගේ දිනෙන් දින පුද්ගලීකරණය වන සත්තාව තුළ ද ප්‍රේමය හුදු ෆැන්ටසියක් බවට රූපාන්තරණය වන , අනෙකා ආශාවේ වස්තුවක් ලෙස සිතා පරිභෝජනය කරන්නට ගැහැණුන්ට සහ මිනිසුන්ට බලකරන, ගැඹුරු මානව සබඳතා වෙනුවට තත්පරමය ප්‍රවණතා තුළ බුද්ධිමත් මිනිසුන් කැමැත්තෙන් දියව යන පශ්චාත් නූතන ලෝකයට, එබඳු ප්‍රේමයක පැවැත්ම යථාර්ථයක් බව සපථ කොට ලියා තබා ගිය අසීමිත මිනිසා ඔහු ය. 

'ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ....' යනුවෙන් සිතෙන්නට තරම් අපූර්ව පරිකල්පනයක් තිබුණු....

'පිච්ච මලින් සැදි ලෝකය අපටයි-ස්වප්න පරාදීසේ...සුරංගනාවියනේ...' යයි අමතන්නට තරම් සෞන්දර්යයකින් අනූන වූ...

'නඳුන් උයනයි ප්‍රේමයේ ඔබ-සඳුන් සිහිලයි ජීවිතේ...' යයි කියන්නට තරම් ප්‍රේමය කෙරෙහි වූ උත්තුංග විශ්වාසයක් තැබූ....

'මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි...' යනුවෙන් ලියා 'ඒ නගරයේ' ප්‍රේමය ගැන කිසිවෙකුටත් යළිත් ලියන්නට යමක් ඉතිරි නොකළ...

'මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා...' යයි ලියා නාදල්ලක් මත සදහටම අනුරාගය තැවරූ...

'මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු -රහස් අහස් තලයට පවරා...' යයි කියන්නට තරම් සංයමයක් තිබුණු....

'කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී-පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ...
ජීවිතයට ඔබ අළුතින් එක් වී-මා ජීවත් කර සතුට ගෙනාවූ...' 
යයි ලියා ප්‍රේමයේ නිම නොවන බලාපොරෙත්තුව මායාවක් නොව යථාවක් බවට සපථ කොට නික්ම ගිය....

ඒ දිව්‍යමය ප්‍රේමය විශ්වාස කොට සැබවින් අත්විඳින්නට, ඔහුට මේ සා ප්‍රේම කරන්නට...  මට විශ්වාසය දුන්..

ප්‍රියේ නුඹ ම...

ඔව්...
ප්‍රියේ නුඹ ම!


31 July 2013

Tuesday, July 23, 2013

අපි දැන් අමුත්තෝ වෙමු!

ජීන් අර්සනායගම් ගේ ‘Now we are strangers' පද්‍යයේ පරිවර්තනය



[කිසි දිනෙක මා  මනසින් නොමැකෙන, 1983 ඒ අඳුරු ජුලි 23 වැනිදා, සිංහලයින් යයි කියනු ලැබූ එක් මිනිස් කොටසක් විසින්, දෙමළ යනුවෙන් හඳුන්වා, පොළව මත වැටුණු රොඩු කැබලි සේ ගිනි තබා අළු කොට අතුගා දමනු ලැබූ තවත් මිනිසුන් දහස් ගණනකගේ ලේ ගලන  මතකය වෙනුවෙන් ඇගේ කවිය මෙසේ පරිවර්තනය කොට සටහන් කර තබමි. ]



අන්තිමේ දී වෙන්වීම තීරණය වී ඇත.. 
දිරා ගිය කොළ පිරි අපුල මුඩු බිමෙහි
විකල්ව සැරි සැරූ සමය අවසන් ය... 
පොළොව විසින් මුල ප්‍රතික්‍ෂේප කෙරයි
තිත්ත පස විසින් බීජය ප්‍රතික්ෂේප කෙරෙයි
තුරුපත් වියන සිහින් ගෙරවිලි හඬ නගයි 
දුගඳ හමන මළ මිනී මත
දඟර ගැසෙන මඩ සෙවෙල්වල
අපුල දරා ගනු පිණිස
අතුවලින් ගිලිහී බිම පතිත වෙයි

කුමට පෙම් කරනුද 
පැසවන ලේ සැරව ගලන 
තුවාල හදවතකට?
හුදෙකලා සෙල් ටැම්
සැඟවුණු ලෙන්
පුරාතන බිතු සිතුවම්
ලේවලින් උදුරාගෙන
අවතැන් කරන ලද
අපේ ඉතිහාසයන්....

කැටයම් කර ඇත අපේ ග්‍රීවයන්
විලි ලැජ්ජාවෙන්....
කෙළෙසනු ලැබූ අනන්‍යතාවේ 
වැරහැලිවලි ලේඛණවලින් ………..
දැන් අපට රටක් නැත
බිමක් නැත
වරක් අප සිටි පරිදි 
වසන්නට තැනක් නැත...
බල කෙරුණි පලා යන්නට 
වෛරය ද බිය ද රැඳි හදවතින්
ඉදි කෙරුණි 
උල් සහිත දැති සහිත 
ප්‍රාකාර අප අතර 
තියුණු බාධක වෙසින්

අපි දැන් අමුත්තෝ වෙමු...

එක්කෝ අප නැවතිය යුතු වෙමු
අගුලු ලෑ කුටිය තුළ... 
නිදිවර්ජිත අඳුරු රාත්‍රීන් රැඟෙන එන
අඩ සිහිනවලින් කම්පිත වෙමින්
මරණය පැමිණ අප මෙයින් නිදහස් කර ගන්නා තෙක්...

නැත්නම් නැව් නැගිය යුතුය
සිතියමක් නැති 
දිශාවක් නැති
නිමක් නැති
යාත්‍රාවක 
ඉදිරියට....

['Apocalypse ’83' -1984]

Monday, July 22, 2013

“Like rain soaking a parched land…." -The Hungry Ghosts-Shyam Selvadurai



“Like rain soaking a parched land…." 


Selvadurai has come again … like a rain, falls on the parched land we are struggling and pretending to be living. In his fourth book ‘The Hungry Ghosts’, he carefully paints the bitterness of the land strained with the blood of humans belonged to all the minorities; ethnic, cast, religious, as well as sexual, on the fabric of the reader’s mind. 

In his own way of developing characters and incidents in such a realistic, balanced manner, Selvadurai presents the story enriched with a rich language, rather poetic this time. 

The main character, Shivan Rasaiyah, a Tamil Sinhalese mixed young man who is a gay in his early thirties recalls memories of his early Sri Lankan life as well as the time spent in Canada as a migrant. Shivan’s life that goes through the poverty in his early childhood , his possessive grandmother’s influence on him, the 1983 riots which changed his family’s life forever and most all his sexual orientation opens a door for us to see things out of the box, feel the neighbor’s pain and to accept many realities that we, as a society were denying for ages.

Selvadurai, in his naturally gifted way, discusses the life of a gay man, the discovery of his  sexual orientation, the means he uses to find romance and the deep love he finds and experiences in his frequent search. Selvadurai never lets us think that we share an experience of something different or not natural. The journey of Shiavan’s love is as natural as any person’s journey in the world. It’s full of romance, envy, agony, fear of losing, demanding, longing as well as hope and betrayal. Yet it becomes too painful and unbearable with the growing tense in Sri Lanka in the light of the given context, Mili the smart school mate with the high class cinnamon gardens background being a human rights worker and Shiavn being a half Tamil. Facing all these obstacles, in his deep and true love affair with Mili Jayasinghe , Shivan, as any other true lover in the world is ready to give up everything he has, including all the social bonds he’s tied up with. And finally, with an untimely braveness, he risks both of their lives to that need of being together . 

“What about us Shivan?” he (Mili) continued into my silence, doping his voice to a murmur. “You know the rules here. We can’t set up house like people do in Canada. Always and eternally we will be two bachelors living with our mother and grandmother. I accept the
situation because I have no choice. But are you willing to?”

“You think I haven’t considered that?” I demanded in fierce whisper. “ Don’t patronize me. Yes, I am willing to make that compromise.”

“But Shivan” Mili said in a low voice, holding out his hands in appeal, “to always lve your grandmother? To rarely sleep with me?”

“Here I am, doing this so we can be together, and this is how you treat me? With all these silly objections?”

My voice was trembling with anger, but he must have thought I was close to tears, because he touched my hand, saying “Shh, shh.” After a glance around he drew me back against his chest. “I’m sorry. I’m a terrible bugger.” He kissed the back of my neck, then released me. “I…I love you, Shivan, I know I do, and I have never said to anyone else.”

“I love you too,” I replied, my voice husky from having to hold back my emotions and speak softly. “I have been with so many men and never felt this. I want it, Mili, I want it no matter what.”

Page-177

The need of them to be together was always confronted with the cultural and political barriers gravely sharpened by Shivan’s grandmother’s complicated attachment to him which lead her to be wild enough to end up with destroying their lives. 

With Mili’s unexpected murder Shivan’s life changes forever, including his relationship with grandmother and his own family. He’s not in peace with himself anymore. Each and every step he takes and every second he spends with Michael who is now his intimate lover and lives together with him are haunted by his memories. Selvadurai, with his given talents, prudently analyses the effects of these past events over the lives of different individuals related to Shivan. 

“Later that night, when we were alone on our air mattress, I dreaded that Michael would probe further, but instead he grasped my chin, searched my face, and then let me go. He turned on his side, legs drawn to stomach, hands under one cheek, looking out at the night. I closed my eyes, vertiginous.” –Page 333

The story not only discusses about the life of Shivan but the dreadful political situation in Sri Lanka and its impact on the Tamils and the entire society. The way Tamils and poor Sinhalese were robbed by the wealthy business class in Colombo, the emerging trend of their thugs turning to politicians and the situation forced the Tamils to flee from their own land are described here with such a sincere tone. Instead of looking at the migrants as blessed , Selvadurai, in his analytical way, invites us to see the complications and hardships they went through, their inability to figure out and place themselves in a foreign land, their sufferings caused by being cut off from the roots of their beloved and the unbearable distress that most of the migrants were experiencing. 

Yet given much prominence to the victims of 83 riots, when it comes to the 30 years civil in Sri Lanka and the victims in the North Selvadurai does not emphasize much on their fate. Only the Human Rights worker Sriyani speaks out for the rights of the Tamils to stand for themselves. Except that, throughout the book, the Tamils' struggle against the injustice happened to them is seen from the eyes of Burshua class in Cinnamon Gardens; as an unwanted storm that disturbed their peaceful classy lives. 

The book is basically woven by one thread of philosophy; that one cannot escape from his or her past events no mater they are right or wrong at the time those incident took place. Ones greed for his or her own satisfaction can lead them to be blind that they take their loved ones lives as granted and at its cost, that one day they lose the most precious ones in their lives.

“And I, like that naked perethi, will find release only by offering it to another, by putting another before myself.” -Page 370

The story tells us that the suffering is born out of the anger and bitterness we have for each other and finally the only way to cross this burning river is nothing else, but forgiving. 

And yes, as we think of our loved ones who walked along all those narrow paths with us, those who remained in those long nights beside us, we say, “you are like rain soaking a parched land.” 

Monday, May 20, 2013

සැමරුම




මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා 
උහුලමින් දිව ගිය.. 

කන්‍යාවන්ගේ තිසර පට ද
නොදරුවන්ගේ අතුණු බහන් ද
බොහෝ කලකට පෙර අඩක් සිඳලූ
මිනිස් පා කැබලි ද
භීතිය කඳුළින් පිස කෑ
වළං කටු කැබලි ද
තැනින් තැන විසිර ගිය

වරක් මහ ජනගඟක්
ඉකි හඬක් නොනඟාම
එකම සළකුණක්වත් නොතබාම
මහ රැයක කළපුවක
ගොළු බිහිරි කඳවුරක
සැඟව යනු පිණිස
නිහඬවම ඇවිද ගිය

මේ පාළු වෙරළ දිග....
සංග්‍රාම භූමියකැයි නම් ලද
එකම මිහිමව් කිරෙන් පණ ලැබුව
එක වණින් ලේ හලා
එකම ලෙය පරදවා ධජ නැගුව
මේ පාළු වෙරළ දිග....
‘විජයග්‍රහණය‘යි නම් ලද

එතැන් සිට ......
පොහොයෙන් පොහොය 
සඳ නැගෙයි
වෙසක් පොහොය ම 
සතරක් ගෙවෙයි

දහසක් මහා දිග රැයවල් කෙළවර
සදහටම මැකී ගිය
ලේ උනන මතකයේ
ගොහොරු කළු වෙරළ මත
සිනිඳු සුදු වැලි මැදෙයි
ඒ මතින් නෑඹූල්ව වියන ලද
ඉතිහාසයක් ඇඳෙයි

ඒ නැවුම් වෙරළ මත
නැවුම් මතකයක සළකුණු ඇඳෙයි
ඒත් ඒ පා ලකුණු නම් නොවෙයි
බරැති කළු බූට් අඩි
පැරණි කළු මතකයට
කිසිදාක නොගැළවෙන ශෛල මුද්‍රා තබයි
හුදෙකලා තල් මුලක හදවතක් පළාගෙන
සිහ නදින් ගිගුම් දී
කටු කම්බි කණු බසියි

තව වරක්...
එකම එක කටහඬක් 
පණැති එක හදවතක්
පාදවා ගනු පිණීස
නියපතින් සූරමින්...
සනුහරේ කා හටත් මඟහැරුණු
මිනිස් හදවත් දෙක තුනක්
වැළපෙමින් ඇවිද යයි

ඉතිං...
අපට ද අපේ දරුවන්ට ද
ගැළවීම වනු පිණිස
ඇඳිවතද ඉරා දමනු ලැබ
අපගේ ම වෛරයේ තිත්ත කාඩිය බොමින්
මාංශය ද රුධිරය ද බෙදා දුන්
උතුරු දිග මනුෂ්‍ය පුත්‍රයිනි දූවරුනි,

උර තබා පාපයේ කුරුසිය
දකුණු දිග කල්වාරිය
නගිනෙමි
වෛරයට කමටහන් දෙනු පිණිස
සසර මග ඇදි ඇදී
අතරමග නවතින
කෙසර පිරි බැතිමතුන්
අතර මැද 
ඇද වැටෙමි... ඇද වැටෙමි...

එතැන ...
මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
අලුත් අල්තාරයකි..
ඒ මත
සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.

May 2013

Photo Courtesy : JDS

Saturday, May 11, 2013

නො තෙත් හිත් මත කාසල් කඳුළු





“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්

සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි
ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි
නෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමි
සිතින් දුක දරමි ප්‍රේමය උහුලගමි

විකල් සරතැසකි මතකය බිඳෙන ඉම
විතැන් වූ සිහින පමණක් ඉතිරි වුණ
වසන් වුනේ ඇයි ඔබ හද ගැඹුර මැන
විසංවාදයකි අප වෙන් කෙරුණු තැන

පඳුරු ලලා නැගි ජීවිත ළතැවිල්ල
සොඳුරු යමක් වී නම් ඔබෙ හසරැල්ල
සොඳුර අතැරි දා ඔබ මේ වෙදැඟිල්ල
කඳුළු නොවෙයි මේ සයුරක වැළපිල්ල

කෙතක් වෙලා සෙනෙහස දුන් පිංකමට
කොතක් වෙලා ඔබ ඇති උස් දා ගැබක
සඳක් නැගී රැඳුණොත් කොත් කැරළි මත
සඳක් නොවෙයි ඒ මගෙ ගිනි ගැණුනු හිත

දහසක් හෙළන සීතල සුසුමින් සැලෙන
දහසක් කඳුළු මල් රෝහල් බිම පිපෙන
එමලෙක තෙත නො දත් ජීවක සකිසඳින
අහසක් වී කුමට වැහි කඳුළක් නොදෙන



Tuesday, April 30, 2013

වසන්තය, වේදනා හිම මත




වසංගං හිටපු මල් මත
තබයි උස් තුරු මුදුන් පිනි කැට
විතැන් වී මල් පුරන ගහටත්
වසන්තය ඇවිදින් හිතවත

මන්ද්‍ර ස්වරයෙන් ඉකිබිඳ
යන්න යන විට සිසිරය
නින්ද නැති කොට හෙමින් විමසයි
බින්ද හැකිවෙද හිම වැටුණු මතකය

පෑදෙනා විට අහස් කඩතිර
පීදෙනා වසන්තය මුව විට
හිඳීවිද රළ රැළිති නො නඟාම
වේදනා හිම මිදුණු ගඟදිය

අරන් ඔබ එන්න එක අතකට
කහපාට ෆෝසයිතියා* මල් මිට
ඈත දුර බිම්වලින් නැග එන
සුපෙම් ගී අරන් තව අතකට

වසංගං හිටපු මල් මත
ලියයි මද පවන සිය පෙම් පත
විතැන් වී මල් පුරන ගහටත්
වසන්තය ඇවිදින් හිතවත

*ෆෝසයිතියා(Forsythia) යනු වසන්තයේ එළඹුම සනිටුහන් කරමින් පිපෙන කහපාට මල් වර්ගයකි. 

[ඡායාරූපය | මංජුල වෙඩිවර්ධන]


Monday, April 22, 2013

දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා!




අද ලෝක මිහිතල දිනය යි! 

අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් මිහිතල දිනය එළඹුණා. අපිට අන් ගැටළු තරම් මිහිතල ගැටළු වැදගත් නොවන්නේ ඇයි? මෙයට නොදැනුවත්කම, නොසැලකිල්ල වගේම වැරදි අවබෝධයත් බලපානවා. 

1950 දී මිහිතලයේ භූමි ප්‍රමාණයෙන් 15% ක් වැසී තිබුණේ වැසි වනාන්තරවලින්. අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ 6%ක් පමණයි. තව වසර 40 ක් ගත වෙද්දී ඒ 6%ත් අතුරුදන් ‍වීමට නියමිත යි. හැම තප්පරයකට ම ඉතිරිව ඇති වැසි වනාන්තරවලින් අක්කර එකහමාරක් විනාඩියකට අක්කර 150 ක් වසරකට අක්කර මිලියන 78 ක් මිනිසා වෙනත් වගාවන් සහ දැව වෙනුවෙන් විනාශ කරනවා.. බටහිර ‍ඖෂධවලින් 25% ක් ම නිෂ්පාදනය කරන්නේ වැසිවනාන්තර පැළෑටිවලින්. වන විනාශය නිසා මීළඟ වසර 25 ඇතුළත ලෝකයේ පැළෑටි වර්ග, සත්ත්ව වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් වර්ග වලින් අඩක් ම සදහට ම වඳ වී යෑමට නියමිත යි. දිනකට අපට සදහටම අහිමි වන සතුන් සහ පැළෑටි වර්ග ගණන 137 ක්. එනම් වසරකට 50,000ක්. ඒ සමගම මාරාන්තික රෝග සඳහා භාවිතයට ගැනෙන ඖෂධත් අපට අහිමි වෙනවා. සංවර්ධිත ලෝකයේ ආහාරවලින් 80% ක් ම නිපදවන්නෙත් වැසි වනාන්තරවලින් ලබා ගන්නා දේවලින්. මෙසේ නො නැවතී විනාශය කරා යෑමට සුළු ලාභ තකා වනය වැනසුවත් වැසි වනාන්නතර තිබෙන්නට ඉඩ හැරීමෙන් අත්වන ආර්ථික, පාරිසරික ලාභය මිළ කළ නො හැකියි.


මේ මිහිතලය මත ජාතීන් 10 ක් දැනටමත් වතුර නැති කමින් තම ජාතිය වඳ වීමේ තර්ජනයට මුහුණ දීලා. සෑම වසරකම සාගරවලට මිනිසුන් විසින් හෙළන අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් බිලියන 14 ක්. අනෙකුත් ජලයට අපවිත්‍ර ජලය ට්‍රිලියන 19 ක් එකතු වෙනවා. ලෝකය පුරා මිලියන 900 ක් ජනතාව බීමට පිරිසිදු වතුර නැතිකමින් පීඩා විඳිනවා. 40%කට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නෑ. මෙහි ප්‍රතිඵලය දරුණු සෞඛ්‍ය අර්බුදයක්. දිනපතා ලෝකයේ පුද්ගලයින් 14,000 ක් අපවිත්‍ර ජලය පානය කිරීමෙන් සැදුණු ලෙඩ රෝග හේතුවෙන් මිය යනවා...

මේ අතර මියයන ළමයින් ප්‍රමාණය දිනකට 4,500 ක්. මේ ප්‍රමාණය දිනකට ඒඩ්ස්වලින්, මැලේරියාවෙන් සහ ක්ෂය රෝගයෙන් මියයන ළමුන්ගේ එකතුවට වඩා වැඩියි.



අපවිත්‍ර වූ වාතය නිසා ඕසෝන් ස්ථරයට හානි වන නිසාම මිනිසා ඇතුළු සියලු ස්වභාවික හා ජීවී පද්ධතීන්ට එය බලපානවා. එහි ප්‍රතිඵලය දරුණු ශ්වසානාබාධ, හෘදයාශ්‍රිත ආබාධ, උගුරේ ආසාදන වැනි විවිධ ලෙඩ රෝග යි.පර්යේෂකයින්ට අනුව වසරකට 1% ක ප්‍රමාණයකින් ඔසෝන් ස්ථරය විනාශ වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවේ පමණක් 2075 වන විට ඉපදෙන දරුවන් මිලියන 60 ක් ම චර්ම පිළකා සහිතව ඉපදෙනු ඇති. එයින් මිලියනයක් මිය යනු ඇති.

පොලිතීන් භාවිතය කියනනෙත් දිනෙන් දින වැඩිවන ව්‍යසනයක්. සෑම වසරකම පොලිතින් භාවිතය හේතුවෙන් මිලියන ගණනක් කුරුල්ලන්, සිවුපාවන් සහ මසුන් මියයනවා. පොළව සහ ජලය අපවිත්‍ර වෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තවත් බරපතල ගැටළුවක්. විද්‍යාඥයින් කියන අන්දමට වසර 2100 වන විට සාමාන්‍ය උෂ්ණත්වය 3% - 5% දක්වා වැඩි වේවි. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? මුහුදු මට්ටම මීටර් 25 කින් ඉහළ යනු ඇති. ගංවතුර, නියං, උණුසුම් වායු ධාරා සහ ටොනාඩෝ වැනි ස්වභාවික විපත් ඉහළ යනු ඇති. කෘෂිකාර්මික අස්වනු පහළ යන අතර මැලේරියා වැනි රෝග තුරන් කළ භූමි ප්‍රදේශවල නැවත එම ලෙඩ රෝග හට ගනු ඇති.

මේ සෑම දෙයකටම අප සෑම දෙනෙක්ම ඍජුව සහ වක්‍රව දායක වෙමින් සිටිනවා. ඒ අපි කරන දේවල්වලින් මෙන්ම නොකරන දේවල් වලිනුත්.... අපි පරිසරය, ජලය හෝ වාතය අපවිත්‍ර කරන ජලය අපතේ හරින සෑම මොහොතකම අපේ ක්‍රියාව නිසා ලොව කොතැනක හෝ ළමුන් , මිනිසුන්, සතුන් මිය යන බව අපි අමතක කරනවා. ටොෆි කොළයේ පටන් ෂොපින් බෑග් එක දක්වා එතැනිනුත් එහාට නිවසේ කුණු බාල්දියේ පටන් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය දක්වා අපි පරිසරයට අත හරිනවා. වැඩිහිටියන් ට ඒ ගැන අදහසක් හෝ පුරුද්දක් නැති නිසාම දරුවනුත් ඒ දේම කරනවා. එළිපිට සිදුවන මහා පරිසර මංකොල්ලකෑම් ගැන කරන කතා ටික දිනකින් යට යනවා. කවර හෝ අරගල නොතකා හැර දේශපාලන සහ මුදල් බලයෙන් මහ පරිමාණයෙන් පරිසරය විනාශ වෙනවා. රක්ෂිත වනාන්තරවල, වැව් තාවුළුවල හෝටල් සැදීම මීට හොඳ උදාහරණයක්.

මේ මහා පරිමාණ වැඩවලට සියල්ල බැරකිරීම නිසා පුද්ගලික මට්ටමින් අපට කළ හැකි දේ අපෙන් ගිලිහෙනවා. උදාහරණයක් විදිහට අපද්‍රව්‍ය තැන තැන නොදැමීම, අපද්‍රව්‍ය කළමණාරණය, ජලය සහ බලශක්තිය ප්‍රවේශමින් පාවිච්චි කිරීම, හැකිතාක් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේවල් පාවිච්චි කිරීම, අත්‍යවශ්‍ය කරුණක දී හැර කඩදාසිවල මුද්‍රණය කිරීමෙන් වැළකීම, මේ ගැන දරුවන් දැනුවත් කිරීම, අප පය ගසා සිටින, අප දරා සිටින මිහිතලය වෙනුවෙන් නොනවත්වා අරගල කිරීම සහ හරිත පරිසරයක් සඳහා දායක වීම මේ සඳහා පුද්ගලික මට්ටමින් කළ හැකි දේවල්. 

ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සංවාද මෙන්ම ඒ මට්ටමෙන් සිදුවන මිහිතල දූෂණය ගැනත් අවබෝධයක් සහිත ඒ සඳහා සිය හඬ අවදි කළ හැකි තරම් දැනුවත් පුරවැසියන් බිහිවීම අත්‍යවශ්‍ය කරුණක්. මේ ප්‍රකට කියමන ඔබ අසා ඇති... 

"මිහිතලය යනු අපට අතීතයෙන් ලැබුණු දායාදයක් නොවේ. අනාගත දරුවන්ගෙන් ණයට ඉල්ලා ගන්නා ලද්දකි."

ඔබේ දරුවාගේ දරුවා චර්ම පිළිකා ආසාදිතයෙක් නොවන්නට, අපවිත්‍ර ජල බිඳක් වෙනුවෙන් හඬා නොවැටෙන්නට, කිසිදා හිරු එළිය දකිනු බැරි මිනිස් කුලකයට අයත් නොවන්නට නම්, නොඉඳුල් වනාන්තරවල නොපෙනෙන ඌලකින් ඉපිද පීරාගෙන නිල් සයුරට වැටෙන දිය කඳුරුවලට ද, නිල් පැහැයෙන් බොර පැහැයට හැරෙන් මහා සාගරවලට ද, දිය වෙවී ඔබ සොය එන ග්ලැසියරවලට සහ හිම වලසුන්ට ද, හෙට නිල් අහස දක්නට නොහැකි යැයි තැවෙන උස් කඳු මුදුන්වලට ද, දිනෙන් දින මිහිතලය සදහටම හැරන සතා සීපා වර්ගයන්ට ද, අපේම ක්‍රියාවන් නිසා මිලියන ගණනින් මියැදෙන කුඩා දරුවන්ට ද ඔබේ ආදරය අවශ්‍ය යි. ඔබේ සැලකිල්ල අවශ්‍ය යි.



දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා! 

ආශ්‍රිත:
http://uwb2ms.blogspot.com/2010/05/what-will-happen-if-we-continue-to.html
http://en.wikipedia.org/wiki/Pollution
http://en.wikipedia.org/wiki/Rainforest
http://adsoftheworld.com/media/ambient/npo_reflection_project_trash? size=original
http://www.wikihow.com/Help- Save-the- Planet- Earth

Tuesday, March 5, 2013

කළු ගඟ පමණක් අසා උන් දෙබසක්




රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.


අම්මා:

මගෙ සුදු දුව කොතැන ගියේ 
රන්සළු විල් දියට ගියේ
දියේ මලක් පිපිලා යේ
එමල කඩා එන්ට ගියේ

දුව:

අම්මේ මං ගඟේ ගියේ
බෝ සමිඳු ට කියා ගියේ
වේලක් සරි කර ගන්නට
අරුංගලය එවා තියේ

අම්මා:

රනින් නෙළා ගත් දෝණී
රන් කිරි කට ගෑ දෝණී
රන්වන් සළු වියු දෝණී
රන් දියඹට ගිය දෝණී

දුව:

රන් කිරි මතකය පමණී
රන් විමනක සුව නූනී
රන්වන් හදවත බිඳුණී
උඹ නාඬන් උලලේනී

අම්මා:

උඩු නියරේ පැකිළෙම්මා
යටි නියරේ වැටුනෙම්මා
රන් කිරි කර පෙව්වෙම්මා
උඹ කොහෙදෝ මයෙ අම්මා

දුව:

ලිප ගිනි රතු මල් පිපෙන්න
මල්ලිට රංකිරි පොවන්න
රන් නූලෙන් සළු මැහුවේ
සංසාරෙන් එතෙර වෙන්න

අම්මා:

අනේ පුතේ ඇතින්නියා
උඹ එන මඟ රකින්නියා
පොලීසියට දුවන්නියා
කනේ කොහොඹ හලන්නියා

දුව:

මයෙ අප්පා කළුම කළුයි
මයෙ අම්මා කළුම කළුයි
මං හැංඟුණ ගඟත් කළුයි
ඒ හින්දා මාත් කළුයි

අම්මා:

නිම්මා නැති සංසාරේ
පෙම්මා නැති මල් පීදේ
උඹ බුදු වෙන මතු වාරේ
අම්මා වෙමි ඒ වාරේ

දුව:

මෙතේ බුදුන් ළඟ මෙතිනේ
දහම් දීප සඟ සරණේ
පෙරුම් පුරන බෝසතුනේ
රනින් ද නිවනත් හැදුණේ




Thursday, February 28, 2013

නිරිඳ ඔබ ම මිස....




ම'සිත් එ'දළ රළ පතර

නොහිම් සෙනෙහස් මුතු අහුර
ගෙන හොවා හද ගැඹර
සිඹින, මුදුවට...නළලත

මල් කෙමි වතළ තුරු අස
සඳ මිණි දුලන අතු අග
සරන වෙරළත
සුපෙම්බර මඳ නළ 
නිරිඳ ඔබ ම මිස -අන් කවරෙද

සිත'ග රළ රැළි ලන 
කින්නර නාද රඟ'තර
සඳෙව් පෙමැ'දුරු 
වැළඳ ගත් දිවි තෙර

සකිසඳ....,
ඔබ සයුර..මා එහි දියඹ...


Thursday, February 7, 2013

චන්දරේ




ඉරක් නො නැගෙන අඳුරු යුගයක් දඩ බිමක් වූ කළුවරේ
පන්හිඳට ජීවිතෙන් පණ දී ලේ කඳුළු උඹ කවි කළේ
ගොදුරු හොයනා රුදුරු ගිනි අවි, මලක රතටයි ඉව කළේ
යදම් බිඳ ලූ පරපුරක් වෙත උඹයි රණ ගී හුරු කළේ

වැළඳ සමුගෙන නික්ම යන්නට ඉඩක් නො තැබුණු රණ බිමේ
“ඉතිං දැන් මම පිටව යන්නෙමි” , ලියා කොතැනද උඹ ගියේ 
පැතූ විදිහට හිඳිනවද අද වැතිර නිම්නෙක මෘදු ළයේ
ඇවිත් සගයින් පොකුරකට වී තනි මකන තුරු කළුවරේ

ගාලු කොටුවෙන් නික්ම යන කොට එදා රත අද නෑ ඉරේ
පාලු පාරක වැටී හමු විය ඉටි මලක් දූවිලි ගොඩේ 
මල් පිපෙන්නෑ උඹ ගිහින් යළි නො ආ සීතල නිම් තෙරේ
කොහේ හරි ඉඳ අලුත් කවියක් ලියා එවපන් චන්දරේ




චන්ද්‍රකුමාර වික්‍රමරත්න  යනු 88, 89 අරගලයේ සුවිශේෂී කවියා ය. මේ රටේ බිහි වූ එකම නිර්ධන පාංතික කවියා‘කුමාර’ බව වරක් සුනිල් මාධව ලීවේ ය. එවකට වයස විසි ගණන්වල වූ චන්දරේ කවියෙකු වූයේ ඔහුගේ ජීවිතය  සහ සටන්කාමී ප්‍රාර්ථනාවන්  අන් අය සමග බෙදා ගැනීමට  අවශ්‍ය වූ නිසා ය. සිය කටුක වූ ළමා වියේ ද අසීරු වූ යෞවනයේ ද සියලු මතකයන් සහ සුව නොවූ තුවාල පවා සහෘද මිනිස් වර්ගයා ඉදිරියෙහි එළා ලූ ඔහු එය හැඳින්වූයේ සිය ආත්මය බෙදා හදා ගැනීමක් ලෙසිනි. විටෙක කම්කරුවෙකු ලෙස, විටෙක ඉටි මල් වාස් වෙළන්දෙකු ලෙස, මාළු වෙළෙන්දෙකු ලෙස, බස්වල විරිදු කියන්නෙකු ලෙස සහ ඒ මුලු කාලය පුරා අරගලයේ උණුසුම්  සගයෙකු ලෙස, පැලුණු දෙපතුලෙන්  ලේ ගලන පෑනක් අතැතිව ඔහු මේ පොළව මත  ඇවිද ගියේය.  බොහෝ විට නො පිරුණු කුසින් නො නවත්වා ගමනේ යෙදුණු  ඔහු ඒ ගමන් අතර වාරයේ කවි, කෙටි කතා, රචනා, නාට්‍ය රංගනය ආදී විවිධ ස්වරූපවලින් සිය ආත්මය ද සියලු මිනිසුන් වෙනුවෙන් වැගිරෙන ගැඹුරු මානව ප්‍රේමය මතු නොව පීඩිතයින් උදෙසා වන අරගලය ට අවැසි ගිනියම් වූ සටන්කාමී බව ද අවුලුවාලූයේ ය. “කොයි තරම් පුංචියට වුව ඔහු අපේ විප්ලවයේ කවියා ය” යනුවෙන් පසු කලෙක ඔහුගේ සගයින් ඔහු ගැන සටහන් තබන්නේ එබැවිනි. 

අරගල සමයේ භූගත ජීවිතය ඔහුට පන්නරය දුන්නා මිස ඔහු දුර්මුඛ කළේ නැත. ඒ තරුණ නැගිටීම හිංසක රාජ්‍ය යාන්ත්‍රණය විසින්  ලෙයින් සෝදා හළ පසු පවා 91 වසරේ දී ත් ඔහු ලිව්වේ ය. ඒ කවිවල වූයේ භීෂණයට ගිල ගැනීමට නොහැකි වූ බලාපොරොත්තුව යි. අවසානයේ දී ලියූ කවිවල ඔහු තම නික්ම යාම ගැන පවා ලිව්වේ ය. සංහිඳියාවේ නිම්නයක මෘදු ළයට තුරුළුව විප්ලවයේ සොයුරන් හා එක පොකුරකට ගුලිවන දවසක් පිළිබඳ සිහිනය කවියක ඇඳ තැබුවේය. ඉන් පසු , අවසාන කවිය ද පුවත් පතකට එවා අන්ධකාරය තුළ සැඟව ගියේය. සමු නො ගෙනම යන්ට ගියේය. එපමණකි මිතුරනි.....ඉන් පසු කිසිදාක ඔහු පුවත්පත්වලට කවි එවූයේ නැත. 

එහෙත්, කොන්දේසි විරහිත ප්‍රේමයක සහ මමංකාරයෙන් තොරවූ අව්‍යාජ මානවවාදී ජීවගුණය  කැටි වූ ඔහුගේ කවි අද පවා උණුසුම් ය. ඒවා ඉතිහාසයෙන් මතින් පැන නැගී, සලකුණු නො තබා ම අන්ධකාරයෙහි ගිල්වා දැමූ ඒ දුර්ලභ අව්‍යාජ මිනිසුන් ගැන අපට බොහෝ දේ කියා දෙයි. පිරිපුන් නිවහල් මිනිස් සමාජයක් උදෙසා සටන් කිරීම යනු  අත් හළ නොහැකි අරගලයක් බව යළි යළිත් සිහිපත් කරවයි. ‍