Sunday, January 10, 2010

හදෙහි උන් සකි සඳ




දහසකුත් මහ සෙනඟ අතර මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ

“ගෙවී යන කාලයට
බො‍හෝ දේ කළ හැකිය...
සදා සපත වූවන්
ලිහා වෙන් කළ හැකිය...”

නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද

රඟ මඬල හස කැන් මැද
එක්ව රඟ දුන් සකි සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ

නිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව

පාසලේ අවන්හල ‍කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ටිය
රස සිහිව උගුරෙහි ම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ

මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත

නිහඬව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නො කියා
මග වැටුණු කවිය ලියමි මම

රැගෙන හෙමිහිට ඉවතට
කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ

10/2009



No comments:

Post a Comment