ඔහු කියූ කවිය සහ ඇය නොකියූ කවිය
ඇයඃ මම ඔයාට ආදරෙයි.
ඔහු කියූ කවියඃ
ඔහු කියූ කවියඃ
කේන්ද්‍රයන්ගෙන් නිෂ්පාදිත
සමාජ ප්‍රපංචයන්ගෙන්
වියෝජනය කොට
මගේ සත්තාව
මවිසින්ම පවරා දුනිමි
නිරපේක්ෂ චලනයෙන්
ශ්‍රමය,සාරය වගුරන
දුක් විඳින මිනිසුන්ට
වල් නෙළන
පැල් රකින
වැසි බලා
බිම සිඹින
දැල් අදින
ගල් කඩන
ගිනි තාර
හා දැවෙන
හිරු සමග
හිරු සමග
අවදි වන
රළු අතින
කිරි දොවන
ඒ මහා
මිනිස් කැළ
උන් වෙතට
මා අදින
කෙසේ නම්
නවතිම්ද
මල් සිඹින
කව් ලියන
සුන්දරම
ඉම් සොයන
සිතක් ළඟ
මට මාද
හිමි නැතිව
තිබේ යන්නට ගමනක්
ඇත උතුම් සිතැඟියාවන්ගෙන්
ප්‍රේරණය කරන ලද
සුසාධිත අරමුණක්
හරි පිට ගසන්නට,
පරිමිතවූ විඥානයෙන්
කණ පිට ගැසූ ලෝකය.
ඇයඃ මං දන්නෑ.....මම ඔයාට ආදරෙයි.
.............................................
ඇය නොකියූ කවියඃ
ඒ සිඹින මල් යාය
නගුල් කැති දැල් රැගෙන
ජීවිතේ පොර බදන
කලල් දිය මත පිපෙන
ඉරි තැළුණු රළු අත්ය
සොයන ඒ සොඳුරු ඉම්
දෙණි බිමට වැසි ගෙනෙන
තුරු ලියට පල බෙදන
මග කියා තරු එවන
විශ්වයෙහි උල්පත්ය
ඒ කටුක අත් වලට
ඒ සොඳුරු උල්පතට
පෙම් කරන මා නොදැක
පෙම් කළද ඔබ ලොවට
ගලයි මේ ගඟ හෙටද
ආදරෙයි මම ඔබට
- මාලතී-
12/2009
No comments:
Post a Comment