Friday, January 29, 2010

හදවතක් නැති කවියක්


හදවතක් නැති කවියක්


               සිදුවීමඃ
කළු කපා කළු කෙරූ
සූර්ය ග්‍රහණයක
දැවි දැවී ලේ ගලන
හදවතක එළිය දැක
මහ විසල් කුණාටුව ගෙට ඇවිත්
ගිනි නිවා තුඩ කඩා ලූ පෑන
නෑසේද ඉකි ගසනු යම් තැනක
මල් මැරී, කටු පිපෙන මුඩු බිමෙක
                                     * * * * * *                                        
              පැණයඃ
පොළොව හැර අහස වෙත නැගි නැගි
තුඟු කඳුව උස්ව අප සිටි හැටි
උණු නොවී ඇතුළතින් නොම දැවී
ගිනි කන්ද විය හැකිද මිතුරනි

සීතලම හද පතුල පහුරු ගා
ඇවිලෙනා කවි ලියන සකියනි
බිම වැටී මිදුණු හිම කැටයකින්
කෙලෙස නම් ඇව්ලේද ලැව් ගිනි

දුර යනුව, මගට බැස යා නොහි
අනුන්ටම මග කියමු මග රැදි
මලක් මත පිනි බිඳුව නැළවෙවී
ගඟක් වී ගැලියැකිද සබ‍ෙඳනී

ඉරිතලා දෙකඩ වූ මහ පොළොව
ඉරි තැළුණු තොල් තියා සිප වැළඳ
වියළවා බොල් ඇසෙහි උණු කඳුල
හිස ගසා මරණ‍ෙයහි අවසඟව
දුටුවාද වැළපෙනා ජීවිතය, අඩදැණිව?

ඉතිං සකියනි,
ඒ මහා ඉරණමත්
කවියකට නිමිත්තක්
විතරමද?


01-10

1 comment:

  1. Anonymous30/1/10 18:53

    "ඉතිං සකියනි,
    ඒ මහා ඉරණමත්
    කවියකට නිමිත්තක්
    විතරමද?"

    ඉතින් එච්චරයි නේද
    කරල තියෙන්නෙ
    මේ කවියෙනුත්...?

    ReplyDelete