Saturday, January 16, 2010

අනෙකා වටා කැරකීම



අද සහෘදයෙක් සමග ඇතිවුණ සංවාදයක් නිසා හැමදාම හිතන දෙයක් ලියන්න හිතුණා...අඩු වැඩි වශයෙන් ජීවිතේ එදිනෙදා වේදනාවන් හෝ දිගු කාලීන විඳවීම් වලට මුල් වෙන්නේ වෙනත් අයව අක්ෂයන් බවට පත් කරලා ඒ අය වටා කරකැවීම. ඒක හරියට ලණුවක් අල්ලගෙන ඇවිදින්න පු‍රුදු වුණාම තමන්ට සහජයෙන් උරුම සමබරතාවය අමතක වෙලා ලණුව නැත්නම් වැටෙන තරමට ඒ මත යැපෙනවා වගේ....

මුල් කාලෙදි මේ අක්ෂය වෙන්නෙ දෙමව්පියන්. ළමයට උගන්වන්නෙම ස්වාධීන වීම මහා පාපයක් කියලා. ඊළගට වැඩීමත් එක්ක මිත්‍රයින්, පෙම්වතා හෝ පෙම්වතිය මේ කේන්ද්‍රය බවට පත් කර ගන්නවා. ඊටත් පසුව තමන්ගෙ දරුවන්....  එහෙම නැත්නම් මුදල් වගේ භෞතික සාධකයක්..... මේක කොයිතරම් උඩු යටිකුරු වෙලාද කියනවානම් පෙම්වතා ඉරිසියා කළේ නැත්නම් පෙම්වතිය හිතන්නෙ “එයා මට ආදරේ නෑ” කියලා.... අහිමි වීමේ බිය නිසා දෑත නිදහසක් නැතිව අනෙකා අල්ලාගෙන ඉන්නවා....එක්කෝ එහෙම කරන්නට බල කෙරෙනවා....

එහෙම කිරීමේ කණගාටුදායක ප්‍රතිඵලය තමයි තමන්ට තමන් අහිමි වීම....තමන්ගෙ සතුට සැනසිල්ල අනෙකාගේ හැසිරීමට කේන්ද්‍රගත කිරීම...එවිට කරන්නෙ ඉතාම වේගයෙන් වෙනස් වෙන සාධකයකට සාපේක්ෂව නියතයන් ගොඩ නැගීම.එකඟ වීම සේම එකඟ නොවීම තුළත් සිදුවෙන්නේ මේක... ඇත්ත කතාව තමයි, මේ නියතයන් නියත නොවීම...කොයි තරම් යැපෙන සුළුද කියනවා නම් උදේට යන බස් එකේ කොන්දොස්තරට පුළුවන් එක වචනෙකින් මුළු දවසම නාස්ති කරන්න...

අපි ඒ ගැන ටිකක් හිතමු.......

බස් එකේ කොන්දොස්තර මට කෑ ගහනවා මාරු සල්ලි ගෙනාවෙ නෑ කියලා....ලැජ්ජාව, කේන්තිය, අභිමානය මේ ඔක්කොමත් එක්ක “මම” කියන “මහා” ප්‍රතිරූපය හිස ඔසවලා ඒ මනුස්සයා පිළිබද දරුණු කෝපයක් දැන් ඇවිළෙනවා....දැන් මගේ සැනසිල්ල , සංහිඳියාව ඉවරයි...දවසම ඉවරයි....ඒත් මට ඒක දිහා වෙන අයුරකින් බලන්න පුළුවන් නම්.......ඒ මනුස්සයා හෙවත් බස් එකේ කොන්දොස්තර එතන ඉන්නෙ සමහර විට පාන්දර 3 ඉදලා....ඔහුගෙ රැකියාව හරිම කටුක එකක්...ඔහු ඇත්තටම කෑ ගහන්නෙ ඒ කටුක බවට...මට නෙවෙයි....ඇයි මම ඔහුගෙ හැසිරීම නිසා පෞද්ගලිකට විඳවන්නෙ?

මේක හැම තැනකදිම හිතන්න පුළුවන්නම් මට මාව මුණ ගැහෙන්න වෙලාව ඉතිරි වෙනවා......මගේ දෑත නිදහස් වෙනවා.....එවිට අනෙකාත් නිදහස් වෙනවා...එතැන පමණයි හැබෑ ආදරය බිහිවෙන්නේ....හැබෑ සැනසිල්ල විඳගන්න හැකි වෙන්නේ....

මමත් උත්සාහ කරන තවත් මගියෙක් පමණයි.

15-01-2010

1 comment:

  1. බස් කතා ගැන කතා බස් කියවද්දි පුංචි කතා දෙකක් ලියන්න හිතුනා. මගේ මිතුරියක් කියපු.

    එයා අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්. වැඩට යන්නෙ ඔසරියක් ඇඳලා කොණ්ඩෙ බැඳලා බස් එකේ. මිටියි ටිකක්, ඒ නිසාම අර ‍අල්ලගෙන ඉස්සරහට යාම දුෂ්කර ක්‍රියාවක්. මේ දවසෙත් මේ නොයාම නිසා, කොන්දොස්තර ඇඟිල්ල දික් කරලාම අණ කරලා. එයා තරහ ආවත් ඉවසාගෙනම ඉඳලා, සල්ලි ගන්න ආවාම, ආදරෙන් කතා කරලා කියලා;
    “පුතා, ඔයා මහජන සේවයක් කරන කෙනෙක්. ඒ නිසා බස් එකේ යන අයට කතා කරන කොට මීට වඩා ටිකක් විනීත විදිහට කතා කලොත් හොඳයි නේද?” කියා.

    මේක අහගෙන පස්සේ ඇවිත් සමාව ඉල්ලා කියලා තියෙනවා;
    “මිස්, අපි ඉතින් උගත් අය නෙවෙයි. නොදැනුවත් කම නිසාම එහෙම කෑ ගැහුවා” කියලා.

    ඊලඟ කතාවත් කිව්වෙ එයාමයි, අපිත් දන්න තවත් මිතුරියකට මූණ පාන්න වුනු සිද්ධියක්. එයාට කොන්දොස්තර ආශිර්වාදය අහගෙන ඉන්න බැරිම තැන ඇඬිලා. සමාව ඉල්ලලා තියෙනවා එදා. ඊලඟ දවසක මහත්තයාත් එක්ක බස් එකට නගිද්දී අර කොන්දොස්තර ලඟට ඇවිත් පින් දිදී
    කියනවාළු මේ තමා මගේ ගුරුතුමී කියලා.

    ඉතින් මේ කතා අහලා, අපි චුට්ටක් කතා කලා, අරමුදලක් හදලා මේ දෙන්නාව දවස පුරාම බස් වල ගමන් කරවන්න. අවුරුද්දකින් විතර බස් කොන්දොස්තරලා කොයිතරම් විනීත වේවිද එහෙම වුනොත්.

    මාතෘකාවෙන් ටිකක් පිට පැන්නාට සමාවෙන්න. ඇත්තටම මේ සිද්ධි දෙකේම පතුලේ තියෙන්නෙත්, අල්ලගෙන ඉන්න ලණුව අත ඇරලා අනිත් කෙනාගේ ඉඩමටත් ටිකක් එබී බැලීමම නේද?

    ReplyDelete