Sunday, December 23, 2012

ඉක්බිති...



ගසක් වෙලා ඔබ මල් නැගුවා රොනවුලෙහි සැරූ මට දැනුනේ නෑ
දොළක් වෙලා ඔබ ගලා ගියා මගෙ දෙපා යටින් මා දුටුවේ නෑ
බිමක් වෙලා අව් වැසි දැරුවා මං අහස නිසා දුර පෙනුනේ නෑ
ඇසක් දිය දිදී පණ සුන් කතරට වැසි හෙලුවා මට දැනුනේ නෑ

ඉරක් වගේ දුක පායා එනකොට හිතම දැවෙන්නැති කීවේ නෑ 
කඳුත් වැටෙන්නැති ඔබට රිදෙන්නැති පොළව නිසා ඔබ ඇඬුවේ නෑ 
මතක් වෙලා මම ආයෙත් එනකොට අහස යටින් ඔබ හිටියේ නෑ
වරක් රිදී මුළු අහසම දවසක බිම වැටුණා ඔබ දන්නේ නෑ


Saturday, December 22, 2012

I want the world to end....



I want the world to end,
for the blood I shed for the sake of differences between you and me.
I want the world to end,
for betraying you and my true nature for money and power.
I want the world to end,
For all the falls testimonies I made to hide the truth.
I want the world to end,
for forgetting everyone around but myself and letting the human bond die.
I want the world to end,
for killing innocent animals and birds by taking away their habitats for my own comfort.
I want the world to end,
for the weapons I made and for the wars I created.
I want the world to end,
for the drugs I sold to children and youth.
I want the world to end,
for the moments I cheated love.
I want the world to end,
for the droughts and floods of weeping earth as a result of my acts.
I want the world to end,
for the sighs and screams made by daughters, sisters and children
as they were abused by me.
I want the world to end,
For not standing for my neighbor when his rights were taken away by rulers.
I want the world to end,
For misusing art to praise the dictators
I want the world to end,
For all the moments I said ‘No’ to poor and helpless when I was supposed to say ‘yes’.
I want the world to end,
For millions are dying of hunger as I dump my access food in to the seas.
I want the world to end,
For all the melting glaciers, polluted oceans and dying lands.
I want the world to end,
And a new earth to be created without me, the human. 



21-12-2012

Tuesday, December 18, 2012

සරත් තුරු පත්




කතාවක් ඇත
හැම සරත් තුරු පතකට
වතාවක් ඇවිත් ගිය
වසත් සමයක් ගැන

දළු දැමුණු පිනි වැටුණු
හරිතව ඔප දැමුණු
දවස් අග
හිරු රැස ද සරතැස ද
මඳ පවන් මල් වැහි ද
උරාගෙන
රන්පාට ට වියපත් වුණ

ඇලීගෙන තුරු කඳට
සැඳෑ කල
මැසිවිලි නොකී තුරු පත

රන් පත මතින් රතුවට
තිත් ලප සෙමෙන් මතුවෙත
සෙලවෙන විටත් නටු අග
කඳුළැලි නො දුන් තුරුපත

සඳින් සඳ ගෙවී ගිය
මතක ඍතු ය
වෙනස් කොට කලින් කල
නො ලියූ කතාවක පාට ගැල්වුව

පුපුරවා කාලය
ලේ ගලා ගෙන සියොළඟ
නටුවෙන් මිදෙයි හෙමිහිට
රතු පාට සරත් තුරු පත

කතාවක් ඇත
හැම සරත් තුරු පතකට
වතාවක් ඇවිත් ගිය
වසත් සමයක් ගැන


Tuesday, November 20, 2012

මහ පාර මියැදුණි.




මහ පාර මිය ගොසිනි
දරා ගනු බැරි තැන
පර මල් සුවඳ

හොවා ළය සෙනෙහසින්
සුරැක සුසිනිඳු පෙති
ලියා සොඳුරුම කවි
මලකට නමක් දුන් හැටි

මලකට වුව
පිපෙන්නට සහ වැටෙන්නට
කාලයක් ඇත
කිහිරඟුරු මහ පාර
දැන ගත යුතුව තිබුණි ඒ බව

තුරු හිසෙහි නටු අගෙහි
වේදනා කෙළවර
අහසින් ද පොළවෙන්ද සමුගෙන
කහ පාට මල් පෙති ගිලිහුණි
අහසවත් පොළවවත් නො දැනම
මල් වැළඳ මහ පාර මියැදුණි

තවත් අය දෑත් පටලා එහි එන
කහ මල් පලස විඳ විඳ
එමගෙහි ඇවිද යන
මළගමක් උඩින් බව නො දැනම


Sunday, November 18, 2012

හැම දිනෙක ඔබ රඟන.... | Pablo Neruda




හැමදිනෙක සක්වලෙහි එළිය සමගින් රඟන
සිහින බඳු අමුත්තිය, මල්වලින් නිල් දියෙන් මුණ ගැහෙන
මා තරව වැළඳගත් සුදු හිසට වැඩි යමක් වී දිලෙන
මියුරු ඵල අහුරක්ය නේක වර මා දෑත් තුළ රැඳුන

කිසිවෙකුදු නොවෙයි ඔබ, මා ඔබට ප්‍රේමයෙන් බැඳි බැවින
ඉඩ දෙන්න සතපන්න කහ පාට මල් පොකුරු මත මුදුව
රැගෙන මිහිදුම් අකුරු දකුණු දිග තරු අතර
ඔබේ නම මේ ලෙසින් ලියා තැබුවේ කවුද?
මතකයේ හොවා ගමි ඔබ ඔබ ම වනු පෙරත් සිටි විලස

සුළඟ හඬ ගා ඇවිත් හැපෙයි දොර කවුළු මත
මීන සෙවණැලි මැවෙයි අවුල් වී මුලු අහස
වැසි ඇවිත් ඇගේ සළු මොහොතකින් උනනු ඇත
මේ සුළඟ දැන්ම හෝ පසුව නික්මිය යුතුය

සියොතුන් ද සුළඟ මඟ හරිනු වස් පලා යන
මිනිස් ජවයකට නම් එරෙහි විය හැකිය මට
කුණාටුව සුළි නගයි අඳුරු තුරුපත් අතර
රැයෙහි නැංගුරම් ලූ යාත්‍රා මුදාගෙන
මොරදෙමින් අහස වෙත රැඟෙන යන්නට තනන

ඔබ මෙතැන, පැන යන්ට සිතක්වත් නොමැතිවම
මගේ අවසන් හඬට පිළිවදන් දෙනු පිණිස
බියපත්ව වැළඳගත් නමුදු මා මොහොතකට
දුටිමි ඔය දෑස් මත ඇඳුනු ඒ නුහුරු බව

දැන් පවා ඔබ මවෙත සුවඳ පිරි මල් ගෙනෙන
ඔබේ පියයුරුවලත් තැවරිලා ඒ සුවඳ
දුක්බරිත කුණාටුව සමනලුන් හඹා ගොස්
පණ සිඳින විට පවා පෙම් කරමි මම ඔබට
ඔබ මුවෙහි මධුර ඵල රස බලයි මා සතුට

මා දරා ගනුව ඔබ කොතෙක් විඳවා ඇත් ද?
සියල්ලට ඉඩ හැරිය මගේ නාමය රැගත්
වියරු වූ හුදෙකලාවෙන් පිරුණු ආත්මය....
බොහෝ වර දුටිමු අප දැවෙන හිමිදිරි තරුව
නැගී එය සිඹින’යුරු පියාගත් අප දෙනෙත්
මලානික මඳ එළිය දිගහරියි දිගහරියි
හිසට ඉහළින් ඔහේ කරකැවෙන සුළං පෙති

වැටී මා වදන් වැසි ඔබ මතට 
මුදුව සුමුදුව සෙමෙන් පිරිමදින
බොහෝ කල් පෙම් කළෙමි
ඔබේ සිරුරත-හිරු දියෙන් නැහැව ගිය
ඒ කුඩා බෙලි කටුව ට
දුරින් දුර යමි, බොහෝ දුර යමි
විශ්වය හිමි ඔබට යයි මට හැඟෙන තෙක්...
නෙළා ගෙන එමි කඳුකරයෙන්
ප්‍රමෝදයේ මල් පොකුරු, පළතුරු සමග හාදු පිරි කූඩ

ඇත්තෙන්ම මට අවැසි
වසන්තය හා චෙරි ගස් අතර සිදුවන දෙය
සිදුවන්න අප අතර....


පැබ්ලෝ නෙරුඩා ගේ Every Day You Play With ... හි පරිවර්තනයකි. 

Wednesday, November 14, 2012

වීණාව මට දී , ඔබ ගැඹුරු නින්දක




කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු 
ඇවිත් නතරව  මා පසෙක
වීණාව මට දී 
ඔබ ගැඹුරු නින්දක 

මට නැතත් කාලයට ඉක්මන් ය
ඉතිං මට 
වයන්නත් බැරි 
නො වයා ඉන්නත් බැරි....

ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බැරි

නිද්‍රාවට  කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසාම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට 
සිහිනයෙන් සිහි විකල් නොවන්නට

මම වයමි...
නොනැවතී වයමි

දැන දැනම...
ගැඹුරු බව
ඔබේ සිහිනය....
මගේ වෙණ නදට වැඩියෙන්

නොබිඳ වෙණ තත්
වයමි...
යළි යළි වයමි
ඔබ ට....
සිහින නොපෙනෙනු පිණිස.



Tuesday, September 25, 2012

මේධා



ගිරග මත මුදු රැයට
සඳ නො විඳි සඳ එළිය
ආ දා...
රත් දෙතොල් මධු බඳුන
තණ බිමෙහි තවරන්න
මේධා....

විෂ විතෙන් සව්දිය පිරුව
කිසිදාක ඉලක්කය නො වැරදුණ
සර්ප පරපුර මැද...
රෙහෙණු මිස පෙති
නො පළඳන්නට නියම ලද
සදාකාලික මල ඔබ.

කඳු ශිඛර මං පෙත් හි
කවට බස් ඇසිලුවෙද
නො වැළපෙන බව දිවුට
ඇසට දුක් ඇවිලුණි ද

දැන් ඉතිං ඔබ එන්න...

මුවරද ම උපදවා,
වෙහෙස වූ තොල් අගට
විෂ දළක් තබා ගිය
පරව ගිය වෙරළු මල්
නිය අගින් සිඳලන්න

සඳ දියෙන් කැළුම් දෙන
සෙවල කොරපොතු සමඟ
තාරකා යට හෙමින්
වැතිරෙන්න
නිශ්චල ම අහස සේ
පැතිරෙන්න

පළාපෙත්තන් පවා
ළය පුරා පෙම් වඩන
ස්නේහ තණ පත් අතර
සැඟවෙන්න
විෂ මිදුණු හැව අතැර
ජීවිතේ විළිලන්න

වේදනා ගැබතුරෙහි
ප්‍රේමය ම ධාතු කොට
සැදුණු හද මිණක් ඇත
තබා ඇසි පියන් තුළ
සදා සුරැකිය යුතු

කඳු අතර,
ළදැරියක ගී රාව
යළිත් නිම්නාද දිය යුතු.

කඳු අතර,
ඒ නදින්
හද මිණක සනහස
යළි ගලා යා යුතු...

ගිරග මත මුදු රැයට
සඳ නො විඳි සඳ එළිය
ආ දා...
රත් දෙතොල් මධු බඳුන
තණ බිමෙහි තවරන්න
මේධා....

මේධා*- උපේක්ෂා නුවන්ශ්‍රීනි ගේ 'සර්පයාගේ දියණිය' නවකථාවෙහි ප්‍රධාන චරිතය


Thursday, September 13, 2012

තාත්තලා


අහසක් දුටිමි අහසේ  ඉර හඳ දුටිමි
කළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමි
තරුවක් දුටිමි වැටුනත් එහි එළි දුටිමි
පොළවක් දුටිමි දරු දුක උහුලනු දුටිමි

පලින් පල ගොසින් සිය කූඩුව බැන්ද
රුපුන් වන සතුන්ගෙන් හිරිහැර වින්ද
පෙමින් සුරැකි උන් යන විට පියඹන්ට
නෙතින් කඳුළු නොහෙළා ලෝ දම් වින්ද

වනේ වන බමරු ගුමු දී රොද බඳින
රනේ රන් රුවින් තව අය තුරුළු වෙන
වනේ කොටා හිත ඒ අය යන්ට යන
දිනේ මගෙ පුතේ කියලා හිත හදන

ගලින් නෙළ නෙළා සිවුරට රැළි දුන්නේ
රළින් රළ නඟන වැවකට දිය දුන්නේ
පියෙන් පිය නැඟෙන්නට උරහිස දුන්නේ
මනින්න බැරි තරමට සෙනෙහස දුන්නේ

පාත්තරේ මෙන් රැස් කළ දුක් ගින්නේ
කාත් කවුරුවත් නැති ගිරි දඹ නැම්මේ
පාත් නො කර හිස, දිවි පියවර ගැන්නේ
තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ
________________________________

Exactly one year ago, on the September 13th, that bright evening was wrapped with golden rays of sun.  I was coming out of the office where  I just finished a meeting. I was thousand miles away from home and it was another long day in Ahmedabad. As I was walking out of that building, my mobile was ringing. From the other end came the voice of my husband seemed to be calm and controlled. He was carefully picking up a few words, yet had to tell me those unforgettable words. As I heard them I only could weep and after a few hours I was flying back to Sri Lanka, all alone , feeling left alone by the entire universe, wishing that what I heard to be a lie .

When I reached home it was not where I visited a month ago , where I was sitting on the veranda floor having a chat with him on books , politics , life and everything. A few hours later, he came home, with a smile on face silently telling us how satisfied he was…He had so many things to share with me..but  had gone without waiting for me to listen. He hadn’t thought of saying ‘good bye’ .

 A year passed-365 days of course. Since then I never passed a day without thinking of him, missing him or wanting him so badly. I never will be able to write a poem for him. Neither this small note nor the poem are reflecting him but a tiny effort to give a relief to my own feelings. He is my hero and the legend remains incomplete without the hero. 

13-09-2012


Wednesday, September 5, 2012

බූන්දියට සුභ උපන් දිනයක් වේවා!




හතර අතට විහිද
හතර අතේ රැඳුණ
හතර වරං රටක
අතරමංව නො ගිය

අකුරු ලියන අතට
මිතුරු වෙමින් පැමිණ
හතුරු නොවී රටට
පතුරු අරිමු බොරුව

අතරතුරේ ඇදුණ
අකුරු සෙනග අතර
එකම මගක ඇදුණ
හතර වසර ගෙවුණ

උපුටා ගැනීම:
www.boondi.lk 

ඇලපිලි, පාපිලි, ඉස්පිලි, ඇද, සඥ්ඥක , මහප්‍රාණ, අල්පප්‍රාණ, මූර්ධජ, දන්තජ
අරුමැසිවාද, ශුන්‍යවාද, සාංදෘෂ්ටිකවාද, මාක්ස්වාද , අධි යථාර්ථවාද , රොමෑන්ටික්වාද, සංවාද සහ විවාද

සඳැස් නිසඳැස් වෙනස් නිදහස් 
සෞන්දර්යය අරගලය මිනිසුන් ගැහැණුන් සහ දරුවන් 
එකම ඉඩක අතුරා 'එන්න කියවන්නැ' යි කියූ
කඳු මැද නිම්නය...

බූන්දියට සුභ උපන් දිනයක් වේවා!!!!




Thursday, August 30, 2012

හේමමාලි




රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ  සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා

තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ

දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය

රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක සැරයක් යළි එන්න

26|08|2012

පතන් බිමක කඳුළු




හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි. 

පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම

කිරිගල්පොත්ත මෙන් උත්තුංග
ඩයිනෝසර මතකයකි දුක් කන්ද
තවමත් හඬන මීවන ලන්ද
නියගින් පෑරුවේ මොන හිතකින්ද

පතන් බිම් පීරමින් සපැමිණ
සුතන් හා නෙලු ඵලය බුදිමින
ඇතුන් කොයි මේ බිමේ වැජඹුණ
සතුන් ගෙන් වෙඩි කකා මියැදුණ

උඩු වියන් යටි වියන් එලමින
අතීතය පස් යට ම වැලලුව
ජීවිතේ හිස් බඳුන් අරගෙන
පැමිණි දන සිප වැළඳ සැනහුව

හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවාද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන

සමනල් වැවට ඉරගල වැටෙන
හවසක සෙමින් රතු ඇස් පිසින
ලෝකාන්තයෙන් රූරා වැටුණ
ඛේදාන්තයකි මේ වන අරණ














20-08-2012


සෙනේ නිසා කවි එරුණා පපුව දනී



එකම මඟක පියඹා යන එක රෑනේ
සිඳ දී පියාපත් අපි දුටු එක හීනේ
හිතේ පාට ගෙන ඇඳි ඒ දේදුන්නේ
හිතේ තිබුණ දම් පාටයි උඹ දුන්නේ

වටින් නැගෙත දුක් දොම්නස් වන ඇත්තු
කවි ලිය ලියා හිත් නිදහස් කර ගත්තු
විතෙන් විත පුරා එළිවැට රැක ගත්තු
පෙම් කෙරුවාද අපි තරමට පෙම්වත්තු

ඈතම දුරක හිටියත් අර වන අරණේ
‍ලෝකෙම නැති පාට ඔය කවිවල රැඳුණේ
හීනෙක හැබෑවක මොන වෙනසද තිබුණේ 
නාවම දුකයි ආවම ඇයි දුක දැණුනේ

වනේ දදා හිත කෙටුවා පොළව දනී
සෙනේ නිසා කවි එරුණා පපුව දනී
අනේ උඹට යන්නම ඕනෑ බැවිනී
උඹේ බරට කවි ලියලා යන්ට දෙමි

Friday, August 10, 2012

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...'ස' සමාප්තිය

 

වසන්තයේ අග්ගිස්සට හැන්දෑව එළඹෙයි. මේ නම් මල් පරව යාමට නියමිත හෝරාව යි. තරු පමණක් නොව සරා සඳ පවා සමු ගත යුතුය. හැම දෙයම ගොළු වෙමිනි..... හරියට කවුරුන් හෝ ඉල්ලා සිටියාක් මෙන්...

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නො නගින්න
වෙලී යුඟඳුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ සිඳී...
සිඳී නැවතී ඉන්න......

මේ වසන්තයක නිමාව සනිටුහන් වන නිමේෂය යි.

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...

පසුගිය ජුලි 19 වැනිදා හැන්දෑවේ මහරගම යොවුන් රඟහල ප්‍රධාන දොරටුව අසල තෙරපෙමින් හයිලෙවල් පාර පුරා ඉතිරී පැතිරී ගලා යන ජන ගංගාව මැදට වී අප ද.... හරියටම 1975 ජුනි පස් වෙනිදා සවස 'ස' 300 වැනි ප්‍රසංගය පැවැත්වුණු වැල්ලවත්ත කදිරේසන් ශාලාව ඉදිරිපිට සිදු වූ දෙයම ඉන් කිහිප ගුණයකින් ගුණ වී සිදුවෙමින් තිබුණි. පැය කිහිපයක් තිස්සේ සිටගෙන සිටියද කිසිවෙකුට ඒ පිළිබඳව වගක්වත් තිබුණේ නැත. සියලු දෙනාටම වූයේ වූයේ ඒකායන ප්‍රාර්ථනයකි. ඒ අර උස මහත සිකියුරිටිලා පසුකොට ආරක්ෂක කුටිය පසුකොට රඟහල් බිමට ද එතැනින් යොවුන් රඟහල ට ද පිවිසීමේ නොතිත් උවමනාව යි. ඇතුල් කරන තුරු නොඉවසිල්ලෙන් වාද කරන ප්‍රවේශපත්‍ර හිමියන් ද සති දෙකකකට කලින් ප්‍රවේශ පත්‍ර මිළට නොගත් වරදින් තාප්පයේ ද ගේට්ටුවල ද එල්ලෙමින් සිටි ප්‍රවේශපත්‍ර අහිමි වූවන් ද ඇතුළ සිය දහස් ගණනක් සිටියේ මේ දූපත තුළ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයට උරුමකම් කියූ ඒක පුද්ගල ගී ප්‍රසංගය නොහොත් ‘ස’ ප්‍රසංගයේ සමාප්තිය අභියස ය. සියල්ලන්ට ම ඕනෑවී තිබුණේ කෙසේ හෝ රඟහලට පිවිස ඒ අසහාය ගාන්ධර්වයාගේ මධුර ස්වර අතර දැහැන්ගත වීමට ය.

ප්‍රවේශ පත්‍ර ලබා ගැන්මට නොහැකි වෙතැයි සිතද්දී ඇතිවුණ මහා ළතැවුල තාප්පයෙන් පනින්නට හැකි ක්‍රමයක් ගැන සිතන්නට දැන් දැන් සිත පොළඹවාලයි. එසේ නොවුවහොත් මේ වීදි පිරී යන්නට හඬන්නට තරම් සිතකි. නැවත විඳින්නට නොලැබෙන සෞන්දර්යයේ අවසාන නිමේෂය අහිමි විය හැකිය යන වේදනාව සිත දවයි. තාප්පයේ එල්ලුණේ නැතිනම් රඟහල් බිම තුළ ආසන අංක ලියා නැති ප්‍රවේශපත්‍ර තවමත් (නියමිත මිලට) විකිණෙන බැව් කෙසේනම් දැනගන්ට ද? (හොඳ වෙලාවට ලංකාවෙ ඉපදුණේ) නාඳුනන තරුණයෙකුට කළ අයැදීමක් අනුව ලැබුණු ඒ ප්‍රවේශපත්‍රවලට මිලක් නියම කරන්නට අපට කිසිදා නොහැකි වනු ඇත.

රඟහල් ශාලාවට පිවිසෙද් දී ප්‍රසංගය ඇරඹී තිබුණි. වේදිකාව දෙපස, පඩි පේළි උඩත් ඉඳගෙන, කොරිඩෝ පිරෙන්න හිටගෙන සිටි මුත්, හුස්මකින් පවා බාධා නොකොට දැහැන්ගත වී සිටි දහස් ගණනක් සහෘදයින් පිරිවරාගෙන වික්ටර්, ප්‍රේමකීර්ති ද අල්විස් ලියා දුන් අමරණීය මව් ගුණ ගීය ගයමින් සිටියේ ය. ‘සඳ දිය කොට- කිරි වතුරින් ... ’

70 දශකයේ තරුව

මගේ සිත අතීතයට දිව යයි. වික්ටර් වූ කලී අපේ දෙමාපියන්ගේ පරම්පරාවට පෑයූ තරුව යි. ඔවුන් ගැයුවේ ඔහු ගේ ගීත යි. එකල තරුණයින්ගේ කොණ්ඩා මෝස්තරය වූයේ වික්ටර් ගේ කොණ්ඩා මෝස්තරය වූ බෙල්ලෙන් පහළට වන්නට වැවූ කොණ්ඩය යි. මගේ පියා ඔහුගේ මිතුරන් හා ගත් භද්‍ර යෞවනයේ ඡායාරූපවල හිටියේ වික්ටර්ගේ කපාපු පළු ය. ඒ කොණ්ඩය... ඒ ඇඳුම්.. ‘මෝහෙන් මුලාවෙලා’ ‘සඳ හිරු තරු පවතින තුරු’, ‘අඩවන් දෑසින්.... ’ මගේ පියාගේ මුවග මියෙන තෙක් රැව් දුන් ඒ ගීත... අදත් අප ගොළු කරවන ඒ ගීත...

හින්දුස්ථානී රාගධාරී සංගීතය ද ජන ගීයේ නොඉඳුල් සුවඳ ද බටහිර සංගීතයේ නවමු රස තැන් ද එකට කළතා රසිකයාට දුන් වික්ටර් ගේ පළමු සහ සදාකාලික පෙම්වතිය සංගීතය බැව් ඔහු ගැන කියැවෙන ලියැවෙන ඕනෑම තැනක සඳහන් ‍වන්නකි. ‘සිහින සතක් දුටුවෙමි මම.. ’ කියා ප්‍රේමකීර්ති ඔහුගේ අතැඟිලි සප්ත ස්වරය ට බන්දවන්නේ එබැවිනි.

වික්ටර් නැගී සිට ගනියි. අතීතාවලෝකනයක යෙදෙමින් මර්වින් පෙරේරා සංගීත වේදියාණන්ව මහත් සෙනෙහසින් සිහිපත් කරන්නේ තමන් ඊළඟට ගයන්නට යන ගීය තමන් සතු නොවන බැව් නිහතමානීව සිහි කරමිනි. වත්මන් පරපුර කෘතවේදීත්වයක ලකුණකුදු නොදක්වමින් පැරණි ගායක ගායිකාවන් ගේ ගී ගයා යන්නට තනන ගමනේ කෙටි බව කණගාටුවෙන් සිහිපත් කරමිනි. මර්වින් තමන්ට නිර්ලෝභීව දන් දුන් තනුව ගැන ඔහු අපට කියයි. මර්වින් පෙරේරා ගේ තනුව සහ මීගොඩ විල්සන් ගේ පද රචනය මුසු වූ ඔහුගේ දිව්‍යමය හඬ යළි ගලා එයි.

පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා- මා හද මවා
මා හද මවා ...


මට යළිත් මගේ පියා සිහිවෙයි. තමුන් පෙම්වතුන්ව සිටි නව යෞවනයේ මේ තරම් හද බැඳි ගීයක් නොවී යයි ඔහු අපට කියා ඇත. මා ඉදිරිපිට යෞවනය පසු නොකළ පෙම් යුවළකි. තරුණයා වික්ටර් සමඟම ඒ ගීතය පෙම්වතියගේ කණට කොඳුරයි.

සැනසීම හෝ වැනසීම..


ප්‍රේමකීර්තිව යළි සිහිපත් කරමින්, සිය ප්‍රතිභාන්විත ගායනයෙන් අප විස්මයට පත් කරමින් ‘තනි තරුවේ’ ගයන වික්ටර් යළි ඉඳ ගනියි. ඊළඟට තවත් අපූරු ගීයක්.. මීගොඩ විල්සන් තරුණියක ගැන සිතා ලියුවා වන්නට ඇති මුත් වික්ටර්ගේ මේ ගීය සිහින සතක් පරිදිම සංගීත දෙව් දුව සමග ඔහු ගෙවා ආ මඟ අපට සිහිපත් කරවයි. ළමා විය ගෙවූ කඩුගන්නාවේ නිවස අසල පිහිටි සිනමා හලෙන් එකම චිත්‍රපටයේ හින්දි සින්දුව සිය වරක් අසමින් පාඩම් කොට විල්ෆ්‍රඩ් අයියා ලැක්ටෝජන් ටින් එකකට ඩෝල් ගසන විට යළි ඒවා ගැයූ යුගයේ පටන් සිය සැත්තෑ වසරක ජීවිතය පුරා සතුට හා සැනසුම ඔහුට දුන් සංගීතය ට තරම් ඔහු පෙම් කළ අන් දෙයක් වෙත් ද? චිත්‍රා, ඔහු පිය බිරිඳ දරු සතර දෙනා ගැන සොයා බලමින් ඔහු නිදහස් කොට තිබුණේ සප්ත ස්වරයේ සුඛ දෝමනස්සයන් රිසි සේ විඳ ගන්නට වන්නට ඇත.

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා


ඔව්.. ඔහුට සංගීතය වාසනාව උදා කොට දී තිබුණි. මහ මඟ යා නොහැකි තරමට ඔහු හඹා ආ ජනප්‍රියත්වය ගැන පසු කලෙක ඔහු මෙසේ කීවේය.

"තවත් ලබා ගත යුතු, ලබා ගත හැකි ප්‍රසිද්ධියක් ඇතැයි මට නොසිතෙයි. කලෙක ජනප්‍රියත්වයෙන් ම හෙම්බත් වී සිටි අයුරු මට මතක් වේ. රූප මාධ්‍ය කොහෙත් ම නොතිබුණු යුගයෙක, දිවා කාලයේ පාරක තොටක පයින් ඇවිද යාමට නිදහසක් නොතිබුණු තරමට ම ජනප්‍රියත්වයෙන් පීඩා විඳ ඇත්තෙමි."(වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

මිනිස් කටහඬට සමීපත ම භාණ්ඩය වන වයලීන වාදනයෙන් සංගීතයට පිවිසෙන වික්ටර් එයින් තියුණු කර ගන්නා ස්වර සහ සංගීත ඥානය සේම ඔහු සතු වූ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය යන ත්‍රෛගුණාංගයන් ද වික්ටර් ගේ විජයග්‍රහණයන්ට හේතුවන බව අමරදේවයන් පවසා තිබුණි. වික්ටර්ට ජය කෙහෙළි බැන්දේ ඒ මඟ හෙළි පෙහෙළි කළේ සංගීතය යි.

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා...
රන් කේළි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...


1973 ‘ස’ ඇරඹීමත් සමඟම එවකට ගුරුවරයෙකු ලෙස දියවන්නා විද්‍යාලයේ සේවය කරමින් සිටි වික්ටර් ට පාසලට වසරක් ම පය ගසන්නට වූයේ නැත. ජීවිකාවට වඩා සංගීතය කෙරේ වූ ප්‍රේමය බලවත් වූ නිසා ය. 1974 දී ඔහු සේවයෙන් පහ කරමින් ආයතන සංග්‍රහය යටතේ ලියුමක් ගෙදරට එවා තිබුණි. එතැන් පටන් ගෙවී ගිය ජීවිතයේ ඔහු සංගීතය නිසා ම පසුකළ දුෂ්කර තැන් බොහෝ ය. සමීපතමයින් කියන පරිදි වික්ටර් යනු ‘කිව්වොත් කිව්වා’ ගණයේ පුද්ගලයෙකි. සිය සංගීත ජීවිතයේ ආත්මය ඔහු කිසිදාක නිලයට බලයට හෝ තාන්න මාන්නවලට පාවා දුන්නේ නැත. සමාප්ති උළෙලේ පළමු දිනය වන ජුලි 18 වැනිදා නෙළුම් පොකුණේ දී ජනාධිපතිවරයා තමුන් ඉදිරියේ ඉඳගෙන සිටිද්දී ඔහු සිය අදහස් ගීතයෙන් නිර්භයව නිවහල්ව කීවේය.

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම
ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ..


සැනසීම මෙන්ම ‍වැනසීමක් වෙත් නම් එය ද මෙයින් ම වෙත්වා යි සිතමින් සිය දිවියේ සෑම තත්පරයක් ම සංගීතය වෙනුවෙන් යෙදවූ නිර්භය සංගීතවේදියා....

ආසා සුන් කළ පාරාදීසයේ දෙවියා..


වික්ටර් තරුණයෙකු මෙන් වේදිකාව පුරා සක්මන් කරමින් අප හා හිනැහෙහින් විටෙක දෑස් පියාගෙන ගයයි. මේ වේදිකාව ඔහුගේ පාරාදීසය යි. ඔහුට තව වසර බොහෝ ගණනක් මෙසේ ගයන්නට හැකි බැව් ස්වරයකුදු නො වරදින ඔහුගේ හඬ පෞරුෂය සාක්ෂි දෙයි. එහෙත් ඔහු හෙට රාත්‍රියේ දී තමන් මුල්වරට 1972 ජුලි විසි වැනි දින ලුම්බිණි රඟහලෙන් ඇරඹූ ‘ස’ හි අවසානය සනිටුහන් කරනු ඇත. අවසානයට කලින් ගෙවෙන මේ සමාප්තියේ හෝරාවන්වල ඔහුට මොනවා සිතෙනවා ඇද්ද?

"සංගීතයෙන් මා ලැබූ දේ අපමණ ය. නොලැබූ දේ පිළිබඳව මසිතෙහි කිසිම දුකක් නැති අතර ලැබූ දේ ගැන ඉපිලෙන සතුටක් අද මට නොදැනේ. සෑම වියපත් වූවෙකුට ම ඒසේ දැනෙනවා ඇතැයි සිතමි." (වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

ඒ රාත්‍රියේ ඔහුට ගායනයට අත්වැල් ඇල්ලුවේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර ආදීන් පමණක් නොවේ. අමරදේවයන් ද ඔහුට අත්වැල් ගී කීවේය.

එබඳු කීර්තියක් හැරදා නිස්කලංකයකින් සහ තෘප්තියකින් මේ පාරාදීසය සිය කැමැත්තෙන් හැර යන කවුරුන් හෝ වෙත් ද? එක් පසෙකින් ඉදිරි පරම්පරා හතකට සියල් සැප හිමිව ඇති විට පවා අනුන්ගේ බත් වේල ද උදුරා ගනිමින් කඩු කිණිසි මංජුසා පවා හාරා සක්විති වන්නට පෙරුම් පුරන ජනතාවාදීන් ය. අනෙක් පසින් තමන් විසින් ම තම හදවත තුළට අතැඟිලි රුවා නොපිට හරවා ආත්මය උදුරා එළියට ගෙන එබන්දන් යන මඟට කාපට් කොට අතුරන කලාකරුවන් යැයි කියන්නවුන් ය. එවැනි අරුම දෙසක මෙය අපූර්ව අත්දැකීමක් නොවන්නේද?

අන්තිමට වික්ටර් මිතුරු සහපිරිවර සමඟ ‘අපි ඔක්කොම රජවරු’ ගායනය අරඹන විට දහස් ගණනක් ‘ස’ ප්‍රසංගවල දහස් වතාවක් සිදුවූ පරිදි රසිකයින් නැගිට අත්තල නඟමින් ඔහු සමඟම එය කියද්දී ඇසට කඳුළක් නො නැගුණ අයෙක් එතැන සිටියේ නැත.

ප්‍රසංගය අවසන ඔහුට සුභ පතන්නට රැස් වූ සියල්ලන් ඔහුගේ පා සිඹ සමු දුන්නේ පිස නොදැමූ කඳුළින් මය. දිළුම් දෙන කැළුම් ගලන කුර්තාවකින් සැරසුණු ජැක්සන් ඇන්තනි නම් හිටපු නාට්‍යකරුවා ද සංවිධායකයන් විසින් ඔහු අතපත් කරන්නට යෙදුණේ යයි සිතිය හැකි ඕකිඩ් මල් මාලයක් ද රැ‍‍ඟෙන වේදිකාවට නැඟුණේ ය. තුංග ගිරි කුළක් බඳු වික්ටර් ඉදිරිපිට කුහුඹුවෙකු වී නොපෙනී ගියේ ය.

සමාප්තිය
1973 ජුලි 20 වැනිදා ලුම්බිණි රඟහළෙන් ඇරඹූණු මුල්ම ‘ස’ ප්‍රසංගයේ සංවිධායක මණ්ඩලයේ උන් චින්තන ජයසේන 1993 පෙබරවාරි 26 ‘කොළමෙහි’ සිය මතකය අවදි කරමින් මෙසේ ලියා තිබුණි. (උපුටා ගැනීම- වික්ටර් රත්නායක:මාරුතයේ මියුරු සර ; ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය )

"‘ස’ මංගල දිනය උදා විය. එය මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන අමරණීය දිනයකි. ලුම්බිණි රඟහල කරා එතරම්ම රසික පිරිසක් පැමිණෙනවා කිසි දිනෙක මා දැක නැත. ප්‍රවේශ පත්‍ර අවසන් වූ පසු දොරවල් කඩාගෙන රසිකයෝ අතුළු වූහ. අප කිසිවෙකුට කිසිවක් කළ නොහැකි විය. වේදිකාව අද්දර සිට දෙපැත්තේ කොරිඩෝව පිරෙන්නට එක පොදියට සෙනඟ ය.

වික්ටර් වේදිකාවට නඟින විට මගේ දෑස්වලින් සන්තෝෂයේ කඳුළු උතුරා ගලා ගියේ ය. අච්චර ජන සන්නිපාතයක් සිටිය ද ‘ස’ ප්‍රසංගය පටන් ගන්නා විට මීයට පිම්බාක් මෙන් නිහඬතාව රජ කළේ ය.

ගායකයෙකු ලෙස වික්ටර් රත්නායක ‘රජ’ වූයේ එදා යයි මම සිතමි."


ඉන් දශක හතරකට පසු 2012 ජුලි 20 වනදා ‘ස’ ප්‍රසංගය සදහට ම සමාප්තිය සටහන් කළේ ඒ ලුම්බිණියෙන්ම ය.

1973 ලුම්බිණියේ මෙන්ම 2012 සමාප්ති ප්‍රසංග මාලාවේ අවසාන දිනට පෙර දින මහරගම යොවුන් රඟහලේ ද සිදුවූයේ එදා චින්තන ජයසේන අත් විඳි දෙයම ය. වෙනස වූයේ ඇරඹුමක සහ අවසානයක පරතරය පමණකි.

රස වින්දනයේ සංතෘෂ්ටියෙන් ද විප්‍රයෝගයේ වේදනාවෙන් ද ගොළුවී අප මෙන්ම ගොළුව ගිය සුවහසක් පිරිස සමඟ එතැනින් නිහඬවම නික්ම ආවෙමු. තරු පවා නිවී ගිය අහස යටින් අප ඇවිදගෙන එද්දී මොහොතට පෙර වික්ටර් ගැයූ ගීයක් සුළඟක එතී හාත්පස නින්නාද දුනි.

ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..


19/07/2012

 

Wednesday, July 18, 2012

අත් දෙකක්


එහා මෙහා වෙන අත් දෙකක් සහ තණ පඳුරු ඇරෙන්න එතන වෙන මොනවත් තිබුණෙ නෑ. අහස තිබුණෙ වෙනද ස්ථානගත වෙනවට වඩා ටිකක් පහළින්. ඒ හින්ද වලාකුළු තිබුණෙ උස තණ කොළ පඳුරුවල ගෑවි නො ගෑවි. යන්තම් වලාකුළු ඈත් මෑත් කරල තණ පඳුරු පාද ගත්ත අත් දෙක නිහඬවම ඒව උදුරන්න පටන් ගත්තා. හැම තණකොළ ගහක්ම සීරුවට. මේ තණකොල වැවිල උස යන්න ගත වෙන්නෙ සති හතරයි-උපරිම හයයි. CO3 කියන තණකොළ වර්ගය.... ඒත් සල්ලි දීල අරන් බලෙන් වවන තණකොළ ජාතියක් මෙතනට ආවෙ කොහොමද?

මතක තියා ගන්න. එක ම වෙලාවක එක තැනක් හොඳටම එළි පෙහෙළි වෙලා තියෙන්නත් එතනම එහා පැත්ත හොඳටම වල් බිහිවෙලා තියෙන්නත් පුළුවන් වෙන්නෙ ලෝකේ එකම එක තැනකයි. සුසාන භූමියක විතරයි..


වලාකුළක් ඇවිල්ල තණ පඳුරෙ මුල වැදුණු පාර අත් දෙක ආයෙත් සීතල වුණා. ඒක වැහි වලාකුළක්. තණකොළ පඳුරුවලට යටින් තිබුණෙ නිදිකුම්බා ගාලක්. ඒ ගාලෙ තැනින් තැන මල් පිපිලා. අත් දෙක ටිකකට නතර වුණා. නිදිකුම්බ මලක් හෙමිහිට ස්පර්ශ කළා. නිදිකුම්බා මල හිස බාගෙන ඒ ස්පර්ශය විඳ ගත්තා.  අත් දෙක තව ටිකක් පහළට ගියා. එක පාරටම නිදිකුම්බා ගහ ගැලවුණා. නිදිකුම්බා මල එක පාරක් ගැස්සුණා . ඔළුව කඩාගෙන වැටුණා. එක අතක ඇඟිලි තුඩකින් පුංචි ලේ බිංදුවක් මතු වුණා.

කටු ඇනිල ලේ එන අත් දෙක පස් ගොඩ උඩ තෙරපුණා. ලේ බිංදු පස්වල ගෑවෙද්දි වලාකුළුවලට යන්තම් උඩින් එල්ලෙමින් තිබුණ ඉර එක පාරටම චිමිනි ලාම්පුවක් වුණා.  හැමතැනම කළුවරයි. ඇළ පාරක් ළඟ ගෙයක් තියෙනවා. චිමිනි ලාම්පුව බවට හැරුණු ඉර ඒ ගෙදර පරණ කැබිනට් එකක් උඩ තියල තිබුණා.  ළමයි දෙන්නෙක් තමන්ගෙ තාත්තට තුරුල් වෙලා ඒ ළඟ ඉඳගෙන.

‘ඇයි තාත්තෙ අපිට කළුවර වෙන්නෙ?’ එක දරුවෙක් අහනවා. තාත්තා ළඟ තිබුණ බෝලයක් අතට අරන් හෙමින් හෙමින් කරකවමින් චිමිනි ලාම්පුව වටේට ගෙනියනවා.

“පේනවද? ලාම්පුව පැත්තට මුහුණ දාපු කොටසට එළිය යි. ලාම්පු එළියට විරුද්ධ පැත්ත අඳුරුයි. අපි ජීවත් වෙන ලෝකෙත් ඒ වගෙයි. පෘථිවිය ඉර වටේ කැරකෙද්දි තමයි දවල් රෑ වෙන්නෙ.” තාත්තා කියල දෙනවා. ටිකකින් ළමයි දෙන්නා තාත්තගෙ සරමෙ ගුලි වෙලා නින්දට වැටිලා.

පුංචි අය ඇහැරෙන්නෙ තාත්තගෙ කටහඬට. තාත්තා කිරි හදලා ඒ දෙන්නට පොවනවා. දැන් චක්කරේ පාඩම් ගන්න වෙලාව. අන්න ඒ වෙලාවට තමයි පෘථිවිය ඉර වටේ යන එක එක පාරටම නතර වෙන්නෙ. හරියට ම කියනව නම් අට වරක් හත කීයද කියලා තාත්තා අහන වෙලාවට. එතකොට ඇස් දෙක නිලංකාර වෙලා විදුලි කොටනවා. ඊළඟට ඒ දෙන්නා දණ ගහගෙන චක්කරේ  පාඩම් කරනවා.

පස්වලට තෙරපිලා තියෙන අත් දෙකේ ලේ බිංදු නැවතිලා. අරලිය මලක් හෙමිහිට ලා දුඹුරු පාට පස් ගොඩ උඩට වැටෙනවා. අරලිය මලක් කියන්නෙ නිශ්චිත පරිණාමයක් සහිත අවිනිශ්චිත ජීවයක්. පොහොට්ටුවේ පටන් මල දිගහැරීම දක්වා ක්‍රමානුකූලව. ඒත් ඒ මල නියමිත වෙලාවට  නටුවෙන් ගිලිහෙද්දි ගහ කණගාටු වෙන්නෙ නෑ. හැබැයි බලෙන් කැඩුවොත් ගහ කිරි පාටට අඬන්න පටන් ගන්නවා.   කවුරුවත් නොදැන හිටියත් කලට අකලට වැටෙන හැම මලකට ම කතාවක් තියෙනවා.

තාත්තා ෆුට් සයිකලයක් පැදගෙන යනවා. එයා ගෙදර යන්න ප්‍රමාදයි. දරුවො බඩගින්නෙ. ‘අනේ මගෙ දරුවො’ ඒ තාත්තා තනියෙන් කතා කරනවා. දවසින් දවස ඒ ගොල්ලො එකතුවෙලා එක එක දිහාවල යනවා. සොලමන් රජ්ජුරුවන්ගේ රත්තරන් නිධාන වලට, සූලු දේශයට, මොන්ත ක්‍රිස්තෝගෙ අබිරහස් මන්දිරයට, සිද්ධාර්ථ ට තොටිය මුණ ගැහුණ තොටුපළට , ගෞර් මෝහන් බාබු තමන්ගෙ යාළුව බිනය එක්ක හින්දු ධර්මය ගැන දෙසමින් කෙස් පලපු තැන්වලට.....

කාලය ගත වෙනවා. ළමයි ලොකු වෙනවා. ඒගොල්ලො  ඉඳ හිට තාත්තා ළඟට ඇවිත් ජීවිතේ කරුණු කාරණා සංතාප බෙදා ගන්නවා. ‘කවදාවත් හිතට විරුද්ධව වැඩ කරන්න එපා’ තාත්තා ඒ වෙලාවට කියනව. ඇවිදල ඇවිදල මහන්සි වුනාම බොරු කකුල් හයි කර ගන්න ළමයි දෙන්නා වාසනාව හොයාගෙන යනවා. එක්කෙනෙක් කඳු දිහාවට..තව කෙනෙක් තණ බිම් පැත්තට...තාත්තා ඒ ගොල්ලන්ට යකඩ සපත්තු සහ රිටවල් දීල ආශිර්වාද කරනවා. මෙහෙම ගිහින් එක්කෙනෙක් උස කුළුණක් උඩ තියෙන තරුවක් ඇතුළෙ මන්දිරයක් හදනවා. . අනිත් කෙනා හුදෙකලා  තැනිතලාවක පාරාදීසයක් හදා ගන්නවා.

වෙලාව ගෙවිල යනවා. වරකට නිදිකුමබා ගහක්, වරකට තණ පඳුරක් බැගින් අත් දෙකෙන් ඉදිරෙනවා. අරලිය ගස් පස් ගොඩ වටේට හිටගෙන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

ඒවට පේනවා තාත්තා අර පාරාදීසවලින් දුරට වෙලා ළමයි එනකම් බලන් ඉන්න හැටි. මන්දිරයක වුනත් පාරාදීසයක වුනත් කොයි තරම් දේවල් තියෙනවද වධ වෙන්න. ඉස්සර වගේ නෙවෙයි.ළමයින්ට තාත්තා එක්ක ඉස්සර වගේ ට්‍රෝජන් අස්සය පිට යන්නවත් තාත්තා කොල්ලෙක් කාලෙ  කැලේ යද්දි කුළු මීමෙක්  එන කොට බයවෙලා සපත්තු පිටින් ගස් නැග්ග හැටි අහලා බඩ අල්ලන් හිනා වෙන්නවත් දැන් වෙලාවක් නෑ.

මැලවුණු, ගැලවුණු නිදිකුම්බා පඳුරු තණ පඳුරු ඈතට විසි වෙද්දි ටික ටික එළිය වුණා. හිතුමතේට එහෙ මෙහෙ වුණ උඳුපියලිය වැල් ටිකක් සහ බොරළු ගොඩක් යට අළුත් පස් ගොඩක් නිශ්ශබ්දව නින්දට වැටිල හිටියා. ඒ වෙලාවෙ වලාකුළු වුනත් ඈත් මෑත් වෙලා ඉර එළියට ඉඩ දුන්නා. ඉර එළිය පස් ගොඩ උඩට පෙරුණෙ සීරුවට-හරිම නිශ්චිතව. ඒ හැම ආලෝක කදම්බයක්ම දැනං හිටියා තමන් පතිත වෙන්න ඕනේ මොන කෝණයෙන්ද කියල. හාත්පස පැහැදිළි වෙලා අරලිය මල්වලට නිදහසේ බිම වැටෙන්න ඉඩ හැදිල තිබුණා. අත් දෙක ආයෙමත් එහෙ මෙහෙ වුණා. නින්දෙ ඉන්න  පස් ගොඩ ළඟ නතර වුණ අත් දෙකෙන් ඉතිරිවෙලා තිබුණ අන්තිම නිදිකුම්බා පඳුරුත් ගැලවුණා.

ඒ එක්ක ගැලවුණු කටු අත් දෙකේ ඇලවිලා ඔහේ උඩ බලන් හිටියා. වීසි කරපු නිදිකුම්බා ගස් එහා පැත්තෙ මහ සද්දෙන් උද්ඝෝෂණයක්. හරියට ළමයි ඉඳල හිටල මුණගැහුණම එක එක දේවල් ගැන කියල තාත්තා එක්ක වාද කරනවා වගේ. එතකොට තාත්තා හිනාවෙලා නිස්සද්ද වෙනවා. ඒ හිනාවෙ පිරිල තියෙන අවබෝධය සහ ආදරය තාත්තගෙ පපුවෙ හිරවෙලා කැක්කුම් ගන්නවා.  දරුවො ඒක නො දැකම ආපහු යන්න යනවා.

දවසින් දවස මේ කැක්කුම වැඩි වෙනවා. අන්තිමට දවසක් හෙමින් සැරේ බිම ඇද වැටෙන තාත්තාව මහ පොළව ආදරයෙන් වැළඳ ගන්නවා.

වලාකුළු එහා මෙහා වෙලා තවත් අරලිය මලක් පස් ගොඩ උඩට වැටෙනවා. වටේට තියෙන වෙන පස් ගොඩවල් උඩ මතක පොකුරු පොකුරු පරවෙලා වැතිරිලා ඉන්නවා. ඒවා නැගිට්ටවන්න කවුරුවත් එන්නෙ නෑ.ඒවා මතකයන් විතරයි. මතකයන් අයිති පුද්ගලයින්ට. පුද්ගලයෙකුගෙන් මතකයන් අයින් වුනාම වෙන්නෙ මොකක්ද? ඒගොල්ලො යන්නම යනවද? වෙනත් ශක්ති ප්‍රභවයකට රූපාන්තරණය වෙනවද? ක්ෂුද්‍ර අණු වෙලා විශ්වයට මුහු වෙලා යනවද?  කෙනෙක් මෙතනට ආවම අපහු එන්නෙ නෑ කියන යථාර්ථය අවබෝධ කරගන්න එළියෙ ඉන්න අයට ගත වෙන කාලය කොච්චරද? මාසයක්? අවුරුද්දක්? නෑ සමහර විට ජීවිත කාලයක්. ඒ නික්මයාම ආපස්සට ගන්න බැරි හුස්මක් කියල දැනෙන කොට, විශ්වයේ කිසිම දෙයකට ඒ නියාමය වෙනස් කරන්න බෑ කියල දැනෙනකොට මහ කළු ගල් උණුවෙලා වැක්කෙරෙනවා.

සුසානයක් කියන්නෙ ගෙයක් නැති උළුවස්සක්. කවුරුහරි ඒකෙන් ඇතුළට එද්දි හදවත්වල රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා. හඬ ශබ්ද ඇහෙන්නෙ නැතිව ගිහින් අරලිය මල් කතා කරන සද්දෙ ඇහෙන්න ගන්නවා. තණකොළ කෙඳිරි ගාන සද්දෙ ඇහෙන්න ගන්නවා. පස් ගොඩවල් හුස්ම ගන්න රිද්මය දැනෙන්න ගන්නවා. පොළව යට වැළලිලා තියෙන මතක කන්දරාවල් අවදි වෙන්න පටන් ගන්නවා. එතකොටයි යන අයගෙ ඇහිපිය වේගයෙන් ගැහිලා උළුවස්ස තෙමාගෙන වැස්ස කඩන් වැටෙන්නෙ.

ඒ වැස්සට මතකයන් අවදි වෙනවා. ළමයි කාලෙකට පස්සෙ කලා වැව් ඉවුරෙ හුදෙකලාව ඉඳගෙන ඉන්න කොට...ගංගානම් ග‍ඟේ ශුද්ධ වූ ජලය අත් දෙකට ගන්න කොට... ඇබොරිජින් කෙනෙක් ඩෙනිම් කලිසමක් ඇඳල කොටු ෂර්ට් එකක් උඩින් දාගෙන විදුලි දුම්රියේ තමන්ගෙ ඉස්සරහ ඉඳගෙන රිච්මන්ඩ් ස්ටේෂන් එකේ ඉඳල බොක්ස්හිල් සිටි එකට යනව දකින කොට...... තමන්ගෙ අලුත උපන්  දරුවා මුලින්ම තනියෙන් නැගිටින කොට........ හැමදාම කඩාගන්න ඕන කරපු ඉර හඳ තාරකා විජයග්‍රහණය කරන කොට..... ඒ දේවල් බෙදා ගන්න ඕන වෙන්නෙ තාත්තව.

අත් දෙක ආයෙත් වෙවුලනවා. ඒ වුනත් අත් දෙකකට ඇස් දෙකක් නෑ. ඒ නිසා අඬන්න බෑ. තණකොළ බූව ගෑවිලා කසන අත් දෙක පස් ගොඩ පුරා ඇදුණු උඳුපියපියලිය ගොල්ල අතගානවා. පරවුණ අරලිය මල් අහක් කරනවා. අත් දෙකට ඇස් නැති වුණාට වලාකුළුවලට ඇස් තියෙනවා. ඒ හින්ද වලාකුළුවලට අඬන්න පුළුවන්. වලාකුළු  ඇඬුම් තද කර ගනිද්දි විදුලි කොටනවා. අත්දෙක පරිස්සමින් වලාකුළු අතගාල අතගාල විදුලි එළි අරගෙන පස් ගොඩ උඩ තියලා පත්තු කරනවා. ඒ ඇ‍ඳෙන විදුලි එළි රටා  අත්දෙක උණුහුම් කරනවා. සූලු දේශයෙ, ඇමසන් වනාන්තරයෙ,ස්ටෙප්ස් තැනිතලාවෙ, ෆ්ලොයිඩ් සහ හල් ඉන්න අජටාකාශ යානයෙ, ලෝඩ්ස් ක්‍රීඩා පිටියෙ, වුල්ෆන්ලගෙ දඩබිමේ රිද්මයට ගැහිච්ච සන්සුන් හදවතක් විශ්වය පුරා විසිරිලා තියෙන බව.... ඒ හදවතේ මතකය පස් ගොඩ යට සුවසේ නිදියන බව, ඒ නින්දට බාධා නොවෙන්න පස් ගොඩ පුරා වැතිරිලා හිටපු නිදිකුම්බා යායයි වැස්සෙන් ආරක්ෂා කරගන්න දෑත් විහිදලා උසට උසේ  ඉන්න CO3 තණකොළ පඳුරුයි දන්නවා. ඒ හදවතේ පිරිල තියෙන්නෙ අවබෝධය සහ ආදරය.

අත් දෙක හෙමිහිට යන්න හැරෙනවා. ඇඬුම් තද කර ගත්ත වලාකුළු හයියෙන් හුස්ම ගන්නවා. විදුලි එළි දැල්වෙන, එළි පෙහෙළි වුණ පස් ගොඩ උඩ අත් දෙකට අයිති යමක් අමතක වෙලා දාල ගිහින්.....

.............................................

එතන තිබුණෙ වැළපෙන හදවතක්.


26/06/2012

Friday, July 13, 2012

කළු ගල්



ඇය හිටියෙ ඒ නිල් පාට තණ බිමේ දිගාවෙලා..උඩින් තැනින් තැන තරු පායලා තිබුණා. ඇය ඇඳන් හිටිය දිග සායේ වාටිය එක එක පාට තුත්තිරි ඇනිලා තිබුණා. හුඟ කලකට කලින් සැරිසරපු කඳු මුදුන්වලින් පහළට එද්දි ඇනුණු තුත්තිරි කොළ පාටයි. නුවර වැව රවුම පහු කරද්දි ඇනිල තිබුණේ රතුපාට ඒවා. අවපැහැ ගැන්වුන දුඹුරු පාට තුත්තිරි සහ කහ පාට තුත්තිරි ඇලවුණේ ගිය අවුරුද්දෙ දවසක නයගරා ඇල්ල ළඟ වාඩි වෙලා හිටි වෙලාවෙද නැත්නම් හොඳට ම හුදෙකලා වුණ වෙලාවක  වීනස් තරුව උඩ සක්මන් කරද්දි ද එහෙමත් නැත්නම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පහුතරගෙන නයිල් ගං ඉවුර අයිනෙන්  පාවෙලා අපු වෙලා‍වකද කියල ඇයට හරියට ම මතකයක් තිබුණේ නෑ. කොහොම වුනත්  රෝස පාට තුත්තිරි ඇමිනුණේ නම් අනෝතත්ත විල කෙළවර වස් වසපු  කාලෙ. ඒ වතාවෙ අනෝතත්ත විල පිරිල තිබුණෙ කඳුළුවලින්.

ඇගේ හිත වෙලාවකට වීනස් තරුවට එතනින් ආයෙත් ඇමසන් වනන්තරේට දුවමින් තිබුණෙ හීනෙකින් වගේ. කොහොමත් ඇය හිටියේ අඩ සිහියෙන්. වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. පපුව උඩ ලොකු කළු ගලක් තියාගෙන ඉන්න කොට පහසුවක් දැනෙන්න විදිහක් නෑ.මොකද හැමදාම  පිහාටුවක ස්කන්ධය දරාගෙන ඉඳලා එකපාරටම කළු ගලක ස්කන්ධය දරාගන්න පුළුවන් පරමාණුක ව්‍යුහයක් නෙවෙයි හදවතකට තියෙන්නේ. ‘හැමදාම’ කියල කිව්වට හදවතක් කියන්නෙ පිහාටුවලට අමතරව ටොෆි ලොසින්ජර, කොහොඹ ඉස්ම පුරවපු  භාජන වගේම මාර්‍ග සිතියම් , සුරංගනා කතා වගේ දේවල් උනත් දරා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසයි කාලෙන් කාලෙට හදවතකට යම් කිසි වස්තුවක් දරා ගැනීමට තියෙන හැකියාව වෙනස් වෙන්නෙ. ඇයත් මේවා දරාගෙන ඉඳල තියෙනවා. ඒත් ඒ බොහොම කාලෙකට ඉස්සර. සමහර විට ඒ වගේ බරක් දරාගන්න හදවතකට ශක්තිය ලැබෙන්නෙ එක පාරක් විතරක් වෙන්නැති. නැත්නම් එක්තරා කාලකෙට පස්සේ කෙනෙකුගෙ  ඒ ධාරිතාව අඩු වෙනව ඇති. අනෙක අහසෙ වලාකුළු පාවෙන හැටියට පිහාටුවක් උනත් කළු ගලක් තරම් බරට දැනෙන වෙලාවල් තියෙනවා. කළු ගල් වුනත් පිහාටු වෙලා පාවෙන වෙලාවල් තියෙනවා.

කොහොම වුනත් මේ තියෙන්නෙ කළු ගලක්. ඒක ඇයට විශ්වාසයි.  ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ කර ගත්තෙ ඒකෙ දාර උල් ඇනිලා ලේ බිංදුව බිංදුව මතුවෙන්න පටන් ගත්ත නිසා. ඇය අමාරුවෙන් තවත් හුස්මක් ගත්තා. ඒ හුස්මෙ ශක්තියෙන් බර වෙලා තිබුණ ඇහි පිහාටු මෑත් කළාම පෙනුනෙ අහස. කළුපාට රෙද්දක් වගේ අතුරලා තිබුණ අහසේ එල්ලිලා තියෙන තරු එක්ක දෙකක් තුනක් සැරින් සැරේ බිමට වැටෙනවා ඇය දැක්කා. ඇයි මේ තරු වැටෙන්නේ කියල කාගෙන් හරි අහන්න ඕන වුනත් ඇගේ තොල් හෙළවුණා විතරයි. වෙහෙස වැඩි කමට කටහඬ පිටවුණේ නෑ. තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්. ඇයට හීනෙන් වගේ මතක් වුනා.

ඇයි ප්‍රාර්ථනා අහසෙ තියෙන්නෙ? ඇය තමන්ගෙන්ම ඇහුවා. ඒක හොඳම සිහියෙන් හිටිය  නම් අහන්නෙ නැති ප්‍රශ්නයක්. මොකද ඇය උත්තරේ දන්නවා. ප්‍රාර්ථනාවක් ලස්සන වෙන්නෙ අහසෙ තියෙන කොට මිසක් පොළවට වැටුනම නෙවෙයි. තරුවක් පොළවට වැටුණම ඔබට ඒකට ළං වෙන්න ලේසි වුනාම- ඔබ ඒකට අත තියපු ගමන් තරුව අඟුරු කෑල්ලක් බවට පත් වෙනවා. අහසින් ගිලිහෙන ඒ මිලි තප්පරේට පස්සේ තරුවකට වටිනාකමක් නෑ.

තරුවලින් ඇස් මුදා ගත්ත ඇය අමාරුවෙන් බෙල්ල වාරු කරලා ඉස්සිලා කළු ගල උඩින් අවට බැලුවා. ඇය හිතුවට ඇය වැතිරල ඉන්නෙ හුදෙකලා පිට්ටනියක කියල ඒක එහෙමමත් නෙවෙයි කියල ඇයට තේරුනා. ඇය අවට තව බොහෝ දෙනෙක් ඇවිදිමින් හිටියා. පුදුමෙකට වගේ ඒ අ‍යගේ අත්වල පපුව උඩ ඔළුව උඩත් එක එක ප්‍රමාණයේ කළුගල් තිබුණා. සමහර ඒවා බොහොම විසාලයි. කීප දෙනෙක් මහා මේරු පර්වත පවා උස්සගෙන හිනා වෙවී එහෙ මෙහෙ යනවා පෙනුනම ඇය පුදුම වුණා. තවත් අය පපුව උඩ තිබුණ පුංචි දල්ලක් එහෙම නැත්නම් පිහාටුවක පවා බර දරා ගන්න බැරුව දණින් වැටිලා කෙස් කඩා ගනිමින් හිටියා. ටිකක් වෙලා මේවා බලන් ඉන්න කොට ඇයට දැනුනා අර පපුව හිරවෙන ගතිය අඩු වෙන බව.

“ඇයි කවුරුවත් මේ කළු ගල බිමින් තියලා යන්නෙ නැත්තේ?”ඇය ඒ වගේ  ප්‍රශ්නයක් ඇහුවේ නෑ.

ඒ වෙනුවට ,

“මට බැරිද මේ කළු ගලේ ස්කන්ධය පිහාටුවක ස්කන්ධය බවට හරවන සූත්‍රයක් හොයා ගන්න ?” ඇය මූණ ළඟම පිපිල තිබුණ තුත්තිරි මලකින් ඇහුවා.

තුත්තිරි මල හෙමින් උත්තර දුන්නා.
 “පුළුවන්- ඔයාට කරන්න තියෙන්න අවධානය යොමු කරන්න. පෘථිවිය මත තියෙන වස්තුවක ස්කන්ධයට බලපාන ප්‍රධානම දේ තමයි තරුවල දීප්තිය-පුළුවන් තරම් උත්සාහ කරන්න තරුවල දීප්තිය තියා ගන්න. එතකොට හෙමින් හෙමින් ස්කන්ධය අඩුවේවි”.

“කොහොමද ඒක කරන්නේ?” ඇය ඇහුවෙ උනන්දුවෙන්-ඒත් අවිශ්වාසයෙන්.

“හරි ලේසියි. කවදාවත් බලාපොරොත්තු අත් ඇරගන්න එපා.” කියපු තුත්තිරි මල හිනාවුණා.

....බලාපොරොත්තු... ප්‍රාර්ථනා....

ඇය ලොකු හුස්මක් ගත්තා, ඇස් පියාගෙන ම. මේ පාර හුස්ම ගන්න තව ටිකක් පහසු වුණා.

කළු පාට අහස යට තාරකා දිළිසෙමින් තිබුණා. 


-//-

Thursday, June 14, 2012

මෙගා අහස යට


නාට්‍යකරණයේ යෙදෙන සහෘදයෙකු මෙගා වෙළඳ සැලක් ඉදිරිපිට විකට ඇඳුමකින් සැරසී වෙළඳ ප්‍රවර්ධනයේ යෙදෙන'යුරු දුටිමි.

සෙනඟ උතුරා හැලෙන
කොළඹ ලෝදිය හැලිය
නුගේගොඩ එක හංදියක් ළඟ ඉහිරුණා
පුවත් නොදැන ම මෙගා සැල අස තෙරපුණා

නො විකිණෙන කිසිවක් ම
නොමැති ඒ අහස යට
ක්ෂුද්‍ර මිනිසුන් මෙගා සිහිනෙක පැටළුණා
මෙගා කටකින් සිංදු පාරට වැගිරුණා

නේක බහුරූ කෝලම්
වත පුරා රතු සායම්
මුව අයා ගත් සිනා විදුලිය කොටමිනා
සුළං පිරවූ රුවක් දූවිලි කළඹනා

රඟ මවන විසුළු රුව
නතර විය මොහොතකට
මෙගා ඇසිපිය නිමේෂයකට පියවුණා
නුහුරු මුහුණේ පුරුදු දෑසක් හිනැහුණා

දූලි මීදුම මැදින්
විසල් අඩි තිය තියා
විසුළු රුව දිගු අඩි තබා මට ළංවුණා
අදහගනු පෙර, දෑත දිගුකර හිනැහුණා

උදුල රඟ නළු අතර
සාද තෙපුළින් දිළෙන
සුබ සිහින රැස විඩාබර ඇස තෙරපුණා
රඟහලේ නින්නාද මතකය ඇහැරුණා

ගම තාම බලන් ඇති
ඊඩිපස් එන තුරා
නගා අත් අපි උඹට නැගු ගොස සිහිවුණා
ඒ අත් ම ඔය දූලි දෑතේ හිරවුණා

ජීවිතේ මහා බර
ඇඟිලි තුඩකට අරන්
හිනැහෙද්දි උඹ, මාව ගොළු වුණා
ගිහිං එන්නං කියා එන්නට
මල්ලියේ, අමතක වුණා

Sunday, June 3, 2012

ආදරය, ‘Birth’ හි සිට සසර සැරි සරන තෙක්....



“ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි.”
-මනෝවිද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග් ( Robert Sternberg)


තමුන් පෙම්කරන තැනැත්තිය කෙරෙහි ඇති අසීමිත චෛතසික සහ ශාරීරික බන්ධනය විසින් ලොව ඇති සොඳුරුතම දසුන් අප ඉදිරියේ මවා ගල් කුළු වන් මිනිසුන් පිහාටු බවට පත් කොට සුළ‍ඟෙහි පා කරවයි. අතට හසු නොවන සිතට නිවැරදිව නිර්වචනය කරගත නොහැකි නිශ්චිත ගුණාංයන් මේ යයි පැවසීමට අසීරු ප්‍රේමය ඒ සියලු අපැහැදිළි කම් නිසාම නිපන් අද්භූත සෞන්දර්යයකින් දිදුළයි. ව්‍යවහාරික මනෝවිද්‍යාඥ  Scott Peck කියන්නේ ආදරය යනු අනෙකාගේ අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් කැප වීමට ඇති වුවමනාවන්හි එකතුවක් බවයි‍.  ඒ එකතුව තුළ ආදරය යනු  හුදු  හැඟීමක් නොවේ. එය සජීවී වූත් අඛණ්ඩ වූත් ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය දෙදෛනෙකු  බැගින් එක්ව අත්විඳින්නාවූ ‍නිමේෂයන්ගෙන් සැදුම් ලත් අසීමිත කාලයක් මේ විශ්වය දරාගෙන හිඳී. එය චිත්‍රණය කරමින් ප්‍රේමකීර්ති යළිත් වරක්   සොබා දහමේ නොකිළිටි වර්ණයන්ගෙන් ප්‍රේමය පෑ ගන්වයි.


“ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හස‍රැල් විලේ
හද දියඹ ගලායයි ‍රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ......”


සංසාරය සහ සසර පුරා එකම සහකරුවෙකු හෝ සහකාරියක පතාගෙන  යළි යළිත් ඉපදීම යනු ප්‍රධාන වශයෙන් බුදු දහමේ එන සංකල්පයන් ය. එය වඩා විචිත්‍රවත්ව කියැවෙන්නේ ‍ජාතක කතා හරහා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර හරහා ලේන කුලයේ පටන් නොසිඳී පැවතුණු  සිද්ධාර්ථ සහ යසෝදරා ගේ බන්ධනය ඇසුරිනි.  මීට පෙර ක්‍රි. පූ. නමවන සියවසින් පසු හින්දු ආගමේ ද මෙම අදහස වර්ධනය වන්නට පටන් ගැණුනු අතර තමන් කල කුසල්වලට ප්‍රතිවිපාක ලෙස යළි උපතක් ලැබෙන බැව් එයින් විශ්වාස කෙරුණි. පයිතගරස් , සොක්‍රටීස් මෙන්ම ප්ලේටෝ වැනි දාර්ශනිකයින් පවා මෙම අදහස දැරූහ. ඊට අමතරව පුනරුත්පත්තිය යනු ප්‍රධාන ලබ්ධීන්ගෙන් අවශේෂ වන පරම විඥානාර්ථවාදය ඇතුළු ආගමික කණ්ඩායම් ද සයිබීරියාව, බටහිර අප්‍රිකාව, උතුරු අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි ලොව පුරා පැතිර ඇති රටවල වසන  ගෝත්‍රික කණ්ඩායම් ද අදහන සංකල්පයකි.  


අප මේ මොහොතේ ජීවත්වන කාලාන්තරය තුළ  ප්‍රේමය වඩා සංතෘෂ්ටිජනක වන්නේ සිය පෙම්වතා හෝ පෙම්වතිය සමඟ එකට ගත කිරීම යි. එය නිමා වී තනි වූ විට ඇතිවන රික්තකය පිරෙන්නේ වඩ වඩා ඇලෙන ගැලෙන සෙනෙහසක් හා දැකුමක මාත්‍රයක් පිළිබඳ ඇතිවන වුවමනාවෙනි. සොඳුරු ස්මරණයන්ගෙනි. 


“හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙනවිට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ..”


ඉනික්බිතිව එළඹෙන රාත්‍රිය යනු මේ භවයක් කෙළවරව එළඹෙන තවත් එක් භවයක් බඳුය. ඒ තුළ ඇගේ දෙතොල් පෙති ලිහෙන්නේ නැත. ඇය නික්ම ගොස් ඇති බැවිනි. ඔහු සිටින්නේ තනිව ම ය. එහෙත් ආකාශ ගංගාව කලතමින් තරු පොලවට වැටෙනු පාළු මුහුදු වෙරළේ සිට ඔහු බලා හිඳියි. තරු ඔහුට සිහිපත් කරනුයේ අනෙකක් නොව පෙර දිනෙක බොහෝ වෙලාවක් නෙතින් නෙත කියවූ ඇති  ඇගේ දෑස යි. 


“මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා...” යයි වික්ටර් ගයද්දී පෙම්වතා තුළ පෙම්වතිය කෙරේ මුල් බැසගත් ගැඹුරු සෙනෙහස සහ එය ‍ඓන්ද්‍රීයව ස්පර්ශ කරන්න්ට නොලැබීමෙන් ඇතිවන නොඉවසිල්ල අසන අප තුළ ද ජනිත කරයි.  ප්‍රේමකීර්ති ගීත මාධ‍්‍යයෙන් අප තුළ දනවන ඒ සොඳුරු වේදනාව ම  බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවෙකු වන ජොනතන් ග්ලේzසර් වෙනත් අයුරකින් ඇමරිකානු සිනමාවට නැගූ අවස්ථාව විමසා බැලුවහොත් පැහැදිළි වන්නේ සදාතනික ආලය පිළිබඳව මිනිසා තුළ ඇති නොතිත් ඇල්ම යි.  


සීන් නම් තරුණ විය අග්ගිස්සේ සිටින පුද්ගලයෙකු පුද්ගලයෙකු සෙන්ට්‍රල් පාක් හි දෛනික ව්‍යායාම සඳහා දුවන අතරතුර නොපෙනෙන ප්‍රේක්ෂකාගාරයට යමක් විස්තර කරයි. තමන් කිසිසේත් පුනරුත්පත්තිය විශ්වාස නො කරන බවත් එය කමකට නැති වල් පල් ගොඩක් බවත් පවසමින් දිවයන ඔහු උද්‍යානය තුළ දී ම හෘදයාබාධයකට ගොඳුරු වී ඇද වැටී මිය යයි. 


Inline images 2

ඊළඟට අපට  හමුවන්නේ දස වසරක් ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝක වූ ඔහුගේ බිරිය, ඇනා(Nicole Kidman) ය. දසවන වසර අවසානයේ දී නැවත විවාහ වීමට කැමැත්ත දී ඇති ඇය සිය විවාහාපේක්ෂිත පෙම්වතා, ජෝසප් රථයේ නවත්වා  සීන් ගේ සොහොන  අසල ට ගොස් කඳුළු පිසිමින් පැමිණෙයි. ඉන්පසු  ඇනා සහ  ජෝසප්  විවාහ ගිවිස ගන්නා උත්සව අවස්ථාව එළඹෙයි.  ඊට ඇනා  ද ඇගේ පවුලේ අය ද සහභාගී වන අතර සීන් ගේ සොයුරා ද සිය බිරිය සමඟ එහි පැමිණෙයි. හදිසියේ ම ක්ලාරා එනම් සීන් ගේ සොයුරාගේ බිරිඳ මඳකට අවසර ඉල්ලමින් පිටතට ගොස් කිසියම් අඳුරු තැනක තමන් ඇනා වෙනුවෙන් ගෙනා ත්‍යාගය වළලා ඒ වෙනුවට වෙනත් ත්‍යාගයක් සූදානම් කර ගනියි. මේ සියල්ල කුඩා පිරිමි ළමයෙකු රහසින් බලා හිඳියි. ඇය පිටව ගිය පසු එතැනට යන ඔහු ඒ පොදිය සාරා ඉවතට රැ‍ඟෙන යයි.

සියල්ල වෙනස් වන්නේ දස වියැති මේ කොළුවා (Cameron Bright) ඇනාගේ මව විසින් පවත්වන  සාදයකට පැමිණ ඇනා කැඳවාගෙන ගොස් තමන් ඇගේ සැමියා (සීන්) බවත් ඇය කිසිසේත් ජෝසප් හා විවාහ නො විය යුතු බවත් පැවසූ විට ය. 

ඇනා මුලින් එය  ගණන් නො ගන්නා නමුදු පසුදා උදෑසන ඔහුගෙන් ලැබෙන ලිපිය නිසා මඳක් විපිළිසර වෙයි. මේ කොළුවා ඇත්තටම ඔහු සීන් ගේ පුනරුත්පත්තිය යයි විශ්වාස කරමින් සිටින බව ඇයට තේරුම් යයි. සිය අනාගත සැමියා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන ඇනා කිසියම් තීන්දුවකට එළඹෙයි. ඒ,  ඔවුන් මේ දරුවා සොයා ගොස් ඔහුට ඇනා පසුපස ඒම අත්හරින ලෙස කරුණු පහදා  දිය යුතු බව ට ය. ඒ සොයා ගැනීමේ දී කොළුවාගේ නම ‘සීන්’ බව ඔවුන් දැන ගනියි. ජෝසප් සහ ඇනාගේ පියා එක්ව සිය පියා සමඟ සිටින කොළුවාට  ඇනා ගැන සෙවීම අත් හරින ලෙස බල කෙරෙයි.  එය ප්‍රතික්ෂේප කරන ඔහු ඇනා ද තමන් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන බැව් වටහා ගන්නා සැණින් පොළොවට කඩා වැටෙයි.  එතැන් පටන් කුඩා සීන් යනු තම මිය ගිය සැමියාගේ පුනරුත්පත්තිය බව ඇනා විශ්වාස කරන්නට පටන් ගනියි. 


පසුදා ඇනාගේ දුරකථනයට කුඩා සීන් විසින් පටිගත කරන පණිවුඩයට සවන් දෙන්නේ ඇනාගේ මව යි. ඔහුට ඇනාව උද්‍යානයේ දී හමුවීමට අවශ්‍ය බව හා තැන ඇය දන්නා වග කී බව ඇය ඇනාට කියයි. ඇනා කෙළින් ම යන්නේ උද්‍යානයේ දී  සිය සැමියා මිය ගොස් සිටි තැනට ය. හරියට ම එතැන කුඩා සීන් ඇය එනතුරු බලා හිඳියි. ඉනු පසු ඇය නඟන ප්‍රශ්නවලට ඇය පිළිතුරු දෙයි. 


ඉන් පසු මේ ගැටළුවට මැදිහත්වන ඇනාගේ ඥාති සහෝදරයෙකු සහ වෛද්‍යවරයෙකු  වන බොබ් පවසන්නේ ඔහුට සීන්ගේ පිළිතුරු පටිගත කිරීමට අවශ්‍ය බව යි.  අසන ප්‍රශ්නවලට ඉතාම පැහැදිළිව සහ අවංකව පිළිතුරු දෙන කුඩා සීන් ඇනාගේ සහ ඔහු ඇගේ සැමියාව සිටි පෙරභවයේ ලිංගික අත්දැකීම් පවා නො පැකිළ විස්තර කරයි. පසුව ඔහුව ඇනාගේ නිවසට රැ‍ඟෙන යනු ලබන අතර  ඔහු ඒ නිවසේ බොහෝ තැන් හඳුනා ගෙන විස්තර කරයි. ඇනා හැර පවුලේ සියල්ලන් මේ සිදුවීම් දෙස බලන්නේ සාධාරණ සැකයකිනි. නමුත් එතැන් පටන් ඔවුන් මේ ගැන වධ වීමට  පටන් ගනියි. 


කුඩා සීන් සිටින්නේ තම විශ්වාසය පිළිබඳ ද්‍රෘඩතර විශ්වාසයකිනි. 


ඇනා:  “ඔබ මොනවද කරන්නෙ?”
කුඩා සීන් :  “මම මගේ බිරිඳ දිහා බලන් ඉන්නවා.” 


පසු වතාවක ජෝසප් හමු වීම පසෙක තබා කුඩා සීන් හමුවීමට යන ඇනා එයින් ජෝසප් ගේ සැකය අවුළුවාලයි. ඔහු සිත රිදවා ගන්නේ සීන් නිසා නොව ඇනාගේ අමුතු හැසිරීම නිසා ය.  එහි ප්‍රතිඵලයක් ලෙස ඇනාගේ නිවසේ උත්සවයක දී කුඩා සීන්ට හිරිහැර කිරීමට  ජෝසප් පෙළඹෙයි. සීන් ඇනාගේ නිවසින් පිටතට දිව යන විට ඔහු පසු පස යන ඇනා ඔහුගේ දෙතොල සිප ගනියි. 


කුඩා සීන් ව විශ්වාස කරන ඇනා ඔහු ව ඇගේ සැමියා ව සිටි සීන්ගේ සොයුරාට  සහ   බිරිඳ වන   ක්ලාරා ට හඳුන්වා දීමට තීරණය කරයි. එහිදී කාටත් රහසින් සීන් හා කතා කිරීමට අවස්ථාවක් ලබා ගන්නා ක්ලාරා ඔහුව තනිව හමුවීට අවශ්‍ය බව පවසයි. ඉන් පසු මිය ගිය සීන්ගේ  සොයුරා දකින කුඩා සීන් දිව ගොස් ඔහු සෙනෙහසින් වැළඳ ගනියි. 


පසුව ක්ලාරා හමුවීමට යන කුඩා සීන් ට ක්ලාරා සිය රහස හෙළි කරයි. තමන් ඔහු සීන් යයි  විශ්වාස නො කරන බවත් ඔහු සැබවින්ම සීන් නම් මුලින් පැමිණ හමුවන්නේ තමාව මිස ඇනාව නොවන බවත් ඇය කියයි. මන්ද සීන් මිය යන විටත් ඇය ඔහුගේ රහසිගත පෙම්වතිය යි. එදා රාත්‍රියේ ඇය වළ දැමූයේ ඇනා සීන්ට ලියූ ආදර හසුන් බවත් ඔහු ඒ සියල්ල විවෘත නො කරම තමන්ට ‍ගෙනැවිත් දුන්නේ තමන් කෙරෙහි ඇති ආලයේ තරම පෙන්වීමට බවත් ඇය කියයි. ඇනා කෙරෙහි වූ කෝපය නිසාම ඇගේ දෙවන විවාහයට ත්‍යාගයක් ලෙස ඒ හසුන් මිටිය දීමට තීරණය කළත් පසුව අදහස වෙනස් වූ නිසා ඇය ඒවා වළ දමා ඇත. කුඩා සීන් තමන් හඳුනා නොගත් නිසා ඇය කිසිසේත් ඔහු පෙර සිටි සීන් යයි විශ්වාස නො කරයි. විපිළිසර වන කුඩා සීන් එකම එක ඉල්ලීමක් පමණක් කර පිටව යයි. 


“ඇනාට කියන්න එපා.”


කුඩා සීන් ව සොයා ගෙන යන ඇනා පවසන්නේ ඔහු තම සැමියා බව තමන් විශ්වාස කරන බව ය. තමුන් දෙදෙනා සැඟවී පළා යා යුතු බවත් නිසි වයස එළඹුණ කල්හි තමන් ඔහු හා විවාහ වන බවත් ඇය පවසයි. නමුත් ඇය පුදුමයට පත් කරමින් ඔහු පවසන්නේ තමන් ඇයගේ සැමියා නොවන බවත් සිදු වූ සියල්ල වැරදීමක් බවත් ය. මෙහිදි අපට සිතා ගැනීමට යමක් නිර්මාණකරුවා ඉතිරි කරයි. එක් භවයකින් තව භවයකට එද්දී ඔහු ගේ අභ්‍යන්තරයේ ගැඹුරුම තැනක හිඳින්නට ඇති සිය බිරිඳ කෙරෙහි වන ආලය මිස ක්ලාරාගේ අසම්මත ප්‍රේමය පිළිබඳ ඇල්ම ඔහුගෙන් ගිලිහෙන්නට ඇත. සීන් එක්වරම ඇය ප්‍රතික්ෂේප නොකළා නම් හෝ තව දුරටත් ඔහු පෙර සිටි සීන් ම යයි ඔප්පු වූවා නම් ක්ලාරා සිදු කරන්නට ඉඩ තිබෙන විනාශය ඔහුට වැටහී යන්නට ඇත. හොඳම දෙය තමන් සීන් නොවන බව ක්ලාරාට ඒත්තු යන සේ හිඳීම යි. එක් භවයක ආදරය පිළිබඳ මතකය සහ ඇනාගෙන් සීන් වෙත පිදෙන අසීමිත මෙන්ම නොමැරෙන සෙනෙහස නොකැලැල්ව ඉතිරි කිරීම මේ භවයේදී ඇය ලබා ගන්නට ගොස් සියල්ල අහිමි කර ගැනීමට වඩා වටියි. ඇනා තම ප්‍රේමය රැවටිල්ලක් ලෙස වර නගා ගැනීමට වඩා තමන්ගේ පරිකල්පනීය ආලය තුළ සදාකාලිකව  තෘප්තිමත්ව හිඳිනු ඇතිය යන්න ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.


සීන්ගේ අනපේක්ෂිත පිළිතුර සහ ප්‍රතික්ෂේප කිරීම නිසා සම්පූර්ණයෙන් බිඳ වැටෙන ඇනා පසුව ඒ නොවන්නේ යයි  හිත හදාගෙන ජෝසප් ගේ සමාව ලැබ ඔහු හා විවාහ වෙයි. විවාහ උත්සවයේ ප්‍රීතිය අතරතුර ඒ ගැන ඇති අවධානය ගිළිහී ගොස් මුහුද දෙස යොමා ගත් හිස් බැල්මෙන් යුතුව සම්පූර්ණයෙන් අවධානය ගිලිහී ගිය ඇනා අපට හමුවෙයි. 


සියල්ල අවසන් වන්නේ කුඩා සීන් සිය අධ්‍යයන කටයුතු නැවත අරඹා ඒ අතරතුර සමාව ඉල්ලා ඇනාට ලියන ලිපියකිනි. තමන් ඇගේ සැමියා බව සිතුවේ ‘මොන විකාරයකින්’ දැයි නො දන්නා බව ලියන ඔහු සිය ලිපිය මෙසේ අවසන් කරයි. 

“මම හිතන්නෙ අපි වෙන භවයකදි ආයේ මුණගැහෙයි.”


 
*   *   *
ජොනතන් ග්ලේzසර් (Jonathan Glazer) ට  ඕනෑ වූයේ  ‘සදාතනික ප්‍රේමය’ සහ ‘හදවතේ අභිරහස’ විදාරණය කරන චිත්‍රපටයක් සෑදීමට ය. එහි ප්‍රතිඵලය වසර 2004 දී  ඉහත කතා පුවත රැ‍ඟෙන එළිදුටුවේ ‘Birth’ යන නමිනි. 21 වරක් නැවත නැවත අමුතුවෙන් ලියනු ලැබූ පිටපතකින් නිර්මාණය කෙරුණු මෙහි ප්‍රධාන චරිතය රඟන නිකොල් කිඩ්මන්ගේ සම්පූර්ණ පෙනුම වෙනස් කරන ඔහු ඇයට කෙටි කෙස් වැටියකින් සහ ‘තමන් සතු සියලු ආශාවන් සහ ආලෝකයන්  සිය කැමැත්තෙන් අත්හැර දමනු ලැබූ’ පෙනුමක් ලබා දෙයි. 


මෙවැනි පුනර් ජන්ම සංකල්ප නො අදහන බටහිර විචාරකයින් බහුතරයක්ගේ අප්‍රසාදය හිමි වුවද රූප රාමුවෙන් රාමුව දැඩි ශක්තියකින් බැඳ තබන ග්ලේzසර් ආඛ්‍යානයේ අඛණ්ඩ ගලා යාම චිත්‍රපටයේ  මුල සිටම රැකගනියි. පරිසර සාධක, අඳුර සහ ආලෝකය මනාව යොදා ගනිමින් සිද්ධීන් ගලපයි. ඇනා සහ කුඩා සීන් උද්‍යානයේ දී හමුවන මොහොත ඊට කදිම නිදසුනකි. 

සියළු චරිත මනාව ගොඩ නඟමින් ඔවුන්ගේ චිත්‍යාභ්‍යන්තර භාවයන් අපූර්ව ලෙස ඉදිරිපත් කරයි. මුල දී දෙලොවක් අතර විපිළිසර වන ඇනා පසුව තම සිතැඟි හෙළි කරයි. 


Anna:  “I really hoped that he was Sean. I ‘wanted’ him to ‘be’ Sean. ......”


ඇනා: “සීන් වෙන්න පුළුවන් කෙනෙක් මට මුණගැහිල තියෙනවා. මට ඇත්තටම අවශ්‍ය වුනේ ඔහු සීන් වෙන්නයි. මට ඕනෙ වුණා ඔහුව සීන් විදිහට දකින්න. මෙතන වැදගත්ම දේ තමයි මම ආයෙත් සීන් එක්ක ආදරෙන් බැ‍ඳෙන එක. ඒකයි සිද්ධ වෙන්නෙ.”


Inline images 3


කිසිදා නිමා නොවන පරම වූ ප්‍රේමයක් පිළිබඳ මිනිසා සතු ඇල්ම මරණයට පවා විනාශ කළ නොහැකි බව ග්ලේසර් එසේ සිතුවම් කරද්දී  සිහියට නැ‍ඟෙන්නේ සංසාරය පුරා එක්ව ආ මඟ බිඳී ගිය ක්ෂණයක දී එකිනෙකා ඇසුරෙහි ගෙවා  දැමූ,  එකිනෙකා තුළ ගොඩනැගුණු යුග ගණන් පිළිබඳ ප්‍රේමකීර්ති ලියන අයුරු ය.  

“යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ....”

 

එලි‍නෝර්: “ඔබ ඔය දන්න දේවල් කොහොමද දන්නෙ?”
කුඩා සීන් : “මම සීන්”


“මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා” යනුවෙන් කියවෙන්නේත් එය ම නොවේද? 


බොහෝ කල් ගත වී එකම ඉර හඳ යළි හමුවෙද්දී කයින් ද සිතින් ද ඒකාත්මික වූ දෙදෙනා බොහෝ දුරස්ව ඇත. කුඩා සීන්ට සිය වයස බාධාවකි. ඔහුගේ සංජානනයන් අනෙකුන්ට පිළිගැනීමට සැලැස්වීම අසීරු කාර්යයකි.  අනෙක් අතට ඇනාට යටි සිතින්  අවැසි ඔහු සීන් ම වීම ය. ඇනාට කරදර නො කරන ලෙස මුල්වර ඉල්ලන අවස්ථාවේදී එය දරා ගත නොහැකිව ඔහු බිඳ වැටීම ඇය කම්පනය කරවයි. ඇය නැවත නිවෙසට ආ පසු ඒ ගැන කියන්නේ වේදනාවෙන් මිරිකෙමින් වෙව්ලන කටහඬිනි. 


Anna: Then he…… 


           he……. 

           Collapsed!

“අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....”


වික්ටර් ඒ ශෝකයෙන් වෙව්ලන ස්වරයෙන්ම ප්‍රේමය අහිමි වීමේ ඛේදනීය බව  “මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා” යනුවෙන්  ගයයි. 


ආදරය සහ සබඳකම් ගැන කොතෙකුත් නිර්වචන තිබුණද කවර දෘෂ්ටිවාදයකින් ඒවා විග්‍රහ කළ ද සදාතනිකව පවතින ආදරයක් ගැන නිධන්ගත වු වුවමනාවක් සියල්ලන් තුළ ඇත. පුනරුත්පත්තිය නො අදහන, මෙබඳු  පාරභෞතික  විග්‍රහයන්ගෙන් සහ ආගමික මතවාදවලින් බැහැර අය පවා චිත්‍රපටයට වසඟ වන්නේ ද ශ්‍රාවකයින් ප්‍රේමකීර්තිගේ “සසර සැරි සරන තෙක් ඔබ මගේ” මෙතරම් හද ගැඹරෙහි බහා තබා ගෙන හිඳින්නේත් ඒ නිසාමය. 


“ආදරය සිල්ල අභිබවන්නේ ය”යි  රෝම මහා කිවි වර්ජිල් කීවේ එනිසා  වන්නට ඇත. 


ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හස‍රැල් විලේ
හද දියඹ ගලායයි ‍රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ......

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙනවිට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් ‍රැල් වැදී සැලෙනවිට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා

ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....
 

අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය:වික්ටර් රත්නායක


ගීතය අහන්න.


ආශ්‍රිත මූලාශ්‍ර:


Friday, May 25, 2012

අවුල් හදන අවුල් ලිහන අWL ART - ඡායාරූප ප්‍රදර්ශනය - මැයි 27-29



විරාජ් ලියනාරච්චි-විටෙක දේශපාලන ක්‍රියාධරයෙකි. විටෙක සංගීත සත්කාරකයෙකි. කවියෙකි. විටෙක සමාජ ක්‍රියාකාරිකයෙකි. තව විටෙක සිනමාකරුවෙකි. මේ සියල්ලට ම වඩා ඔහු විශිෂ්ට ඡායාරූප ශිල්පියෙකි.


හේ ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙයි. වත්මන් ලාංකේය සන්දර්භය තුළ දුලබව ස්පර්ශ වන ඉම් කරා ළඟා වීමට වෙර දරයි. කලාවට අදාළ අධිපති මතවාදයෙන් ඔබ්බට ගිය වෙනස් වූ මානයන් ගවේශණය කරන ඔහු ඒ ප්‍රකාශනයන් සිදු කරන්නේ අවට ඇති වෙනත් විවිධ මාධ්‍ය සමඟ මිශ්‍ර කරමිනි. 

සිය ඡායාරූප හරහා අන්තර්ජාතික අවධානයට ද ලක්ව ඇති ඔහුගේ ප්‍රථම කේවල ඡායාරූප ප්‍රදර්ශනය ‍මැයි මස 27 සිට 29 වැනිදා දක්වා කොළඹ ජාතික කලා භවනේ දී සහ ජුනි 2 සහ 3 යන දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දී පැවැත්වීමට බලාපොරොත්තු වෙයි.

 27 වැනිදා සවස 3 ට ජාතික කලාභවනේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට ඡායාරූපකරණයට ලැදි සියල්ලන් ට ඇරයුම් කරයි.


මේ ප්‍රසාද් වීරසේකර වරක් විරාජ් වෙනුවෙන් ලියූ, ඔහු ගැන අපූරුවට කියවෙන කවියක්... 

"සියලු රස සමග මුසු කොට අඩු වැඩිය
පත අට එකට සිඳ වළඳන බේකරිය

ජූරිය පවා එක මොහොතක නිහඬ කළ
සූරියලිසම් ජීවිතවල ෆොටෝ එක


වී පැදුරෙන් ඉගිල නොයා බණ අසන
මී බඳුනක් ළඟ තුරුළු ව සිනාසෙන

දල්වා පහන මග බලනා සුපෙම් සරා
මල්වර වෙවී මල් නගනා මහල්වරා..."





අවුල් අවපාත සෙනඟ මැද අවුල් නොවී කරන අWL ARTවලට සහෝදරත්වයෙන් සුභ පැතුම්!



Wednesday, May 23, 2012

කුවණ්ණා


පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලුවෙ ‘ලු’
කුවණ්ණා...


නුහුරු නෙත් සරයකට
රුහිරු කැටි උණුව ගොස්
මහතිත්ත වෙරළ ගිනි වදින්නා
ජීවිතේ කපු පිළී ලිහෙන්නා

යක්ෂ ලේ ධාතුවම
යක්ෂ බිම මත හලා
වික්ෂෝප සංතාප විඳින්නා
සසර පෙම් වරපටෙහි බැ‍ඳෙන්නා

පවර තෙදවත් කෙසරු
කවර ලෙස විද රුදුරු
අදහන්න බැරි වුණිද කුවණ්ණා
ප්‍රේමය ම ගිනි දළුව දැවෙන්නා

කපු වියා ගෙවී ගිය
රත් නෙළුම් ඇඟිලි තුඩු
කම්පිතවු ළය මඬළ ගසන්නා
සෙ‍සාපති* දරු උරුම යදින්නා

රළ පෙළක් සේ අරා
යද්දෙස්සගල නැගී
කිරි අම්මලැත්තො* දුක කියන්නා
තම්බපණ්ණියෙ හැපෙයි කුවණ්ණා

හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළ දැමුව
අතීතය, කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගරපං කුවණ්ණා


‍*සෙසාපති- කුවේණියට කියන තව නමක්
*කිරි අම්මලැත්තෝ- වැදි ජනයා විසින් කු‍වේණිය හඳුන්වන පදයක්



Saturday, May 5, 2012

ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය



"By the river Piedra I sat down and wept. There is a legend that everything that falls into the waters of this river—leaves, insects, the feathers of birds—is transformed into the rocks that make the riverbed. If only I could tear out my heart and hurl it into the current, then my pain and longing would be over, and I could finally forget."
–By the river Piedra I sat down and wept (1994). Paulo Coelho


ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි. ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති. ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හි‍ඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය.

‘මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ’


සිය ඇඟිලි අතරින් ගිලිහි ගිය වසන්තය ද එහි මතකයන් ද ස්මරණය කරමින් හදවතින් ගිලානව වැළපෙන පෙම්වතෙකු තම හිස් බව වදනවලින් සිත්තම් කරන්නේ එසේය. ෂෙල්ටන් පෙරේරා සතු අසහාය කට හඬින් පණ ලැබූ මේ ශෝකයේ ගීතය 60, 70 දශකයේ තාරුණ්‍යය ද එතැනින් නොනැවතී 21 සියවසේ සියලු පරම්පරාවන් ද ස්පර්ශ කරන්නේ ඒ සතු සජීවී බව නිසාම ය.

සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යයේ කවියෙකු වන හැරල්ඩ් මුන්රෝ (1879 – 1932) සිය ‘Solitude’ නම් කාව්‍යයෙහි එක් තැනක මෙසේ ලියයි.

"Silence is scattered like a broken glass.
The minutes prick their ears and run about,
Then one by one subside again and pass
Sedately in, monotonously out."


තනිකම තුළ බිදුණු වීදුරුවක් පරිද්දෙන් විසිර පැතිරී කටු අනින නිහඬ බව එසේ විස්තර කරන ඔහු කවිය අවසන් කරන්නේ මෙපරිද්දෙනි‍.

‘You bend your head and wipe away a tear.
Solitude walks one heavy step more near.'


‘ඔබ හිස බිමට බරකොට කඳුළක් පිසින විට
හුදෙකලාව තවත් බර අඩියක් තබා ඔබට ළංවෙයි... ’


ඒ හුදෙකලාව ගැනම ලොව පෙරදිග කෙළවරේ හිඳ ප්‍රේමකීර්ති මෙසේ ලියයි.

''සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ''


වියෝගය තුළින් අහිමි කරන ලද මිහිර පතා ඔහු වැළපෙයි. හරියට සරගෝසාවේ පිලාර් පියෙද්රා ගඟබඩ හිඳ සිය ළමා කල මිතුරා හෙවත් පෙම්වතා ගැන වැළපෙන්නාක් මෙන් ම...

සිය ළමා කාලයේ මිත්‍රයා වසර දහ නවයකට පසු හමුවන විට ඔහු තව දුරටත් ලැජ්ජාශීලී කොලුවෙකු නොව, දෙවියන්ගේ ස්ත්‍රී ස්වභාවය සොයමින් සිටින, රෝගීන් සුව කිරීමේ ආශිර්වාදය ලබා ගත් අන්‍ය භාෂා කතා කරන, දේශන පවත්වන අයෙකු බව ට පත්ව ඇති බව දකින පිලාර් මුලින් විස්මයට ද පසුව ඉමහත් ප්‍රීතියට ද පත්වෙයි. ඔහු තමන්ට පෙම් කරන බව ඉතා සරලව කියද්දී මුලින් එය නොකතා හැරියද ඔහුගේ සුවිශේෂත්වය වටහා ගන්නා ඇය ඔහු අත්දකින දේව සබඳතාව මඳින් මඳ අත්දකින්නට පටන් ගනියි. දැන් ඇයට අවශ්‍ය ඇය පෙම් කරන තැනැත්තා වෙනුවෙන් සටන් කිරීමට ය. ඒ සටන තවත් ගැහැනියක සමඟ නොව දේව මෑණියන් සමඟ හෙවත් මිතුරා ගේ කැරිස්මා සම්ප්‍රදායට අයත් බැතිමතුන්ගේ විශ්වාසය පරිදි දෙවියන් වහන්සේගේ ස්ත්‍රී රූපය සමඟ ය. මේ දේව අභිරහස තුළට ඇද වැටෙන අතර ම ඇය වටහා ගන්නේ තමා ඔහුට මෙන්ම ඔහුගේ කැඳවීමට ද ප්‍රේම කරන බවයි. තමා ඔහු සමඟ එක්ව දුක් විඳින්නට ද දෙවියන් හා මිනිසුන් වෙනුවෙන් කැප වීමට ද සූදානම් බව යි.

ඇය එසේ මනසින් සූදානම් වෙද්දී වසර දහ නවයක් තිස්සේ පිලාර් සිය සිතෙන් අත් හැරීමට ආශ්‍රම ගානේ ගොස් ඵලක් නො ලද මිතුරා ඇය වෙනුවෙන් සිය සුවිශේෂී කැඳවීම ද ප්‍රාතිහාර්ය තුළින් රෝගීන් සුව කිරීමේ හැකියාව ද අත්හැරීමට නිහඬව ම තීරණය කරයි. සියල්ල පුපුරා යන්නේ එම තීරණය පිලාර් ට දැනුම් දෙන මොහොතේ දී ය. ඔහුගේ ශුද්ධවරබව සහ එහි කොටස්කාරියක වීමේ සියළු සිහින බිඳ වැටෙද්දී ‘සියල්ල විනාශ කලේය’යි ඇතිවන වරදකාරී හැඟීමෙන් සුණු විසුණු වන පිලාර් සිය පෙම්වතා හැරයයි. අත් හැරීමේ මොහොත පැමිණ ඇති බව වටහා ගන්නා ඇය පියෙද්රා ගං ඉවුරේ හිඳගෙන අධික ශීතලට තම ජීවිතය මුදා හරින්නට තීරණය කරයි.

ශිශිරයේ කටුක අතුල් පහරින් ද වියෝගයේ අප්‍රමාණ වූ වේදනාවෙන් ද පීඩනයට පත්වන පිලාර් සිය ප්‍රේමය ද මතකයන් ද දෛවය විසින් තමන්ගෙන් අහකට ඇද ගනු ලැබූ දිව්‍යමය පෙම්වතා වෙනුවෙන් ද වැළපෙයි.

පාවුලෝ කොයියෝ ඒ විප්‍රයෝගයේ දඬුවම සිතුවම් කරන්නේ ‍මෙසේ ය.

"පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මේ ගංදියට පතිත වන - තුරුපත්, කුරා කුහුඹුවන්, කුරුළු පිහාටු- ඈ සියල්ලක්ම ගංපත්ල සුසැදි පාෂාණ බවට ම පත්වන්නේ යයි පුරාවෘත්තයක් වෙයි. මගේ හදවත මුලිනුදුරා මේ දියවැළට වීසි කර දමන්නට මට හැකි විණි නම්, එවිට මගේ වේදනාවන් සහ අධිකතර ලාලසාවන් නිමා වී අවසානයේ දී සියල්ල අමතක කර දමන්නට මට හැකිවේවි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. සිසිර සුළඟින් සීත මා කොපුල්තල මත වූ කඳුළු බිඳු මා අතැර යන යන දියවරට පතිත වේ. කොහේදී හෝ මේ ගඟ තවෙකක් හා එක් වී , ඉනිඳු නො නැවතී මගේ හදවතින් සහ පේන මානයෙන් එපිට ඉසව්වකදී මුහුද හා මුසුවේ. යම් දිනෙක මා, මගේ පෙම්වතා වෙනුවෙන් හැඬූ බව කිසි දිනෙක නො දැනෙන තරම් දුරකට මගේ කඳුළු බොහෝ ඈතක ඇදී යාදෙන්. පියෙද්රා ගඟත්, ආශ්‍රමයත්, පිරනීස් හි දෙව් මැඳුරත්, මීදුම සහ අප එක්ව ඇවිද ගිය මංමාවත් සියල්ලත් මට අමතක කළ හැකි තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්.

කිසිදිනෙක සැබෑ නොවන මගේ සිහිනයෙහි මං මාවත් , කඳුවැටි සහ කෙත් බිම් මගේ මතකයෙන් මැකී යයි නම්...

යමෙකුගේ ජීවිතය සහමුලින්ම වෙනස් කළ හැකි ඔව් හෝ නැහැ යන තීරණ ගැනෙන , ඒ, මගේ ජීවිතයේ ඉන්ද්‍රජාලික නිමේශය මට මතකය. දැන් එය සිදු වී බොහෝ කල් ගත වී ඇතිවාක් මෙන් මට දැනේ. මගේ පෙම්වතා නැවත හමු වී ඔහු මට නැවත අහිමි වූයේ පසුගිය සතියේ තරම් මෑතක වීම විශ්වාස කිරීමට පවා අපහසු ය.

පියෙද්රා ගංතෙර හිඳ මෙපුවත ලියමි. මා දෑත් සීතයෙන් දරදඬුව දෙපා හිරි වැටී , සෑම මොහොතකම මෙය නැවැත්වීමේ අවැසියාවෙන් මා පෙළෙයි.

"ජීවත් වන්න. ස්මරණයන් අයිති අතීතයට යි." ඔහු කීවේය.

ඇතැම් විට ආදරය අකාලයේ අපව වියපත් කරයි. නැතිනම් තාරුණ්‍යය දැනටමත් ගෙවී ඇත්නම්, ආදරය අපට එය ලබා දෙයි. නමුත් මා කෙසේ නම් ඒ නිමේෂයන් අමතක කරලන්නද?"


(උපුටනය- By the river Piedra I sat down and wept හි සිංහල පරිවර්තනයෙන්)

කොයියෝ සිය පොතේ පළමු පරිච්ඡේදය අවසන් කරන්නේ මෙසේ කියමිනි.

"හැම ආදර කතාවක් ම එක වගේ."
ඉදින් මේ ප්‍රේමය නම් වන සාර්වත්‍රික ප්‍රපංචය සැමෙකෙකුගේම ජීවිතවල යුගයක් නියෝජනය කරයි. ඒවා හුදු නිමේෂයන් නොවී ඔවුන් පෙර නොසිටි මිනිසුන් හා ගැහැණුන් බවට පත් කරයි.

"දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ..."


ගීතයේ ස්ථායි කොටස සහ පළමු අන්තරා කොටසට වඩා ඉහළ ස්වර පරාසයකින් ගැයෙන්නේ වේදනාව තීව්ර කරමිනි. අතීතය යනු යනු ම සොයමින් සොයමින් ගෙවා දැමූ නිමේෂයන් හි එකතුවකි. එතෙකුදු එය වසන්තය ම විය.

ඒ වසත්කල ගෙවෙද්දී නිම වූයේ හිරු බඳුව සඳු බඳුව තාරකාවක් බඳුව ‘උදාවූ ‘ සෙනෙහසකි.

සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ...


ගීතයේ අපූර්වත ම තැන ද පරිපාකය ද මෙයයි.

මධ්‍යධරණී මුහුදින් එතෙර ස්පාඤ්ඤයේ පිලාර් ශිශිරයේ ශීතයට සිය සමස්තය මුදා හරිද්දී ඒ හේතුව නිසාම ඉන්දියන් සයුර මැද දූපතක වසන පෙම්වතෙකු ප්‍රේම දාහයෙන් තැවෙයි. එය තෝමස් මුවර් කවියා (1779 – 1852) වරක් ලියූ පරිදි ‘වසන්තයේ අවසාන රෝස කුසුම’ යි.

‘ලිය මඬුළු තුරු සිරස එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය කොවුළනේ ගොළුවන්න
සොබා දම් නෑසියනි සැලී- සැලී කම්පා වන්න’


යනුවෙන් කුමාරදාස සපුතන්ත්‍රී ප්‍රතිවර්තනය කරන්නේ ද එයම ය. (ගැයුම- වික්ටර් රත්නායක)

වියෝගය අවසන නො ලියූ අවබෝධයක් ද වන බැව් අප අමතක නොකළ යුතුය. භීතීන්, සංශයන් සහ වැළපුම්වලින් යටපත් කරන ලද ‘පරිත්‍යාගයේ ආදරයට’ දොරක් විවර කර ගත යුතුය. ඉඳුරාම ආදරය කිරීම තුළ හිමිවන සංතෘප්තිය තුළ අහිමි වීමේ බියක් කොයින්ද? ප්‍රේමය හුදු භාවයන් ඉක්මවා ගොස් ලොව අභිබවයි. "පියෙද්රා ගඟබඩ හිඳ..." කෘතියෙහි කතුවර සටහනේ කොයියෝ මෙසේ ලියයි.

"At some point, we have each said through our tears, "I'm suffering for a love that's not worth it."


‘යම් තැනකදී අපි හැම කෙනෙක් ම කඳුළු අතරින් මෙසේ පවසා ඇත්තෙමු. "මං ආදරය වෙනුවෙන් ඒකට නොසෑහෙන තරම් විඳවල තියෙනව"මෙසේ අපට ලැබෙනවාට වඩා වැඩිපුර අප විසින් දෙන බව අපට හැ‍ඟෙන නිසාවෙන් අපි විඳවන්නෙමු. ....

නමුත් අන්තිමේ දී මේ විඳවීමට තේරුමක් නැත. මන්ද සෑම ආදරයක් තුළම වර්ධනයේ බීජය රැඳී ඇති බැවිනි. ... ’
(By the river Piedra ... හි කතුවර සටහනේ පරිවර්තිත කොටසක්)

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා
පසු ගායනය: සතිෂ් පෙරේරා

[ගීතය අහන්න ]

ආශ්‍රිත ග්‍රන්ථ, පද්‍ය:

•‘By the river Piedra I sat down and wept’, 1994, Paulo Coelho
•පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුණෙමි, 2005, පාවුලෝ කොයියෝ (සිංහල පරිවර්තනය :අනුෂයා කොල්ලුරේ සහ පියල් ජයරත්න)
•The Last Rose of Summer by Thomas Moore(1779 – 1852) - කාව්‍ය
•Solitude by Harold Munro (1879 – 1932) - කාව්‍ය


සටහන:
පසුගිය දිනෙක සතිෂ් පෙරේරා මිය ගියේය. පියාගේ ගීත පුතුන් ගැයීම එතරම් අනුමත නො කෙරෙන වාතාවරණයක පවා රසිකයින් ෂෙල්ටන් පෙරේරාගේ, මිල්ටන් පෙරේරාගේ, සී. ටී. ගේ හෝ එම්. එස්. ගේ ගීත ගයන පුතුන් ට කැමැත්තෙන් සවන් දුන්නේ ජෝති ගේ මෙන් ම යළිත් කිසිදාක සජීවී ව නෑ‍සෙන්නට ඉඩ තිබූ ඒ හඬවල්වලට පුනර්ජීවය දුන් නිසාවෙන් වන්නට ඇත. එමෙන්ම මුල් ගීතයට හානි නොකොට සමාන හඬකින් ගායනය කිරීම ද ඊට හේතුවන්නට ඇත.

මට යමක් කමක් තේරෙන කාලය යනු අපේ තාත්තා එවකටත් සිය මිතුරන් සමඟ ආලින්දයේ ගී ගැයූ යුගය යි. වික්ටර්ගේ බොහෝ ගීත ද ෂෙල්ටන් පෙරේරාගේ හා ‘ඇස රැඳුණු රැඳුණු තැන්වල’ වැනි මිල්ටන් පෙරේරා ගේ ගීත ද ඔහු නිරන්තරයෙන් ඇඳ වියලට තට්ටු කරමින් ගැයූ ‘ඇගෙ සිනහව තහනම්’ වැනි චන්ද්‍රකුමාර කඳනආරච්චිගේ ගීත ද මර්වින් පෙරේරාගේ ගීත ද එම්. එස්. ගේ ‘මරීනා මරීනා’ ද මට මුලින් ම ඇසුණේ එහෙම ය. ප්‍රේමකීර්ති සතු වූ අසාමාන්‍ය සෞන්දර්ය ප්‍රතිභාව ලියකම් කෙරෙන ‘කතරක තනිවී’, ‘මල් ලියකම් රැඳි’, ‘මේ නගරය’, ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්’ , ‘සඳ කැන් වැසිලා’, ‘තනි තරුවේ’ මෙන්ම ‘මිහිරැති වසන්ත කාලේ’ වැනි ගී වලින් මහා මාර්ග නිල නිවාසයක් වු අපේ නිවහනේ රාත්‍රී කාලයන් ආනන්දමත් වූ අවස්ථා චිත්‍රයක් මෙන් මා මනසේ ඇඳී ඇත.

මා ‘මිහිරැති වසන්ත කාලේ’ තාත්තාගෙන් පසුව ඇසුවේ සතිෂ් පෙරේරාගේ හඬිනි. අපට කලින් පරම්පරාව එය රස වින්දේ ෂෙල්ටන් පෙරේරාගේ හඬිනි. අද එහි රචකයා ද ගායකයා ද පසුව එය ගැයූ ඔහුගේ පුතු ද අප අතර නැත. මේ ගීතයට අසීමිතව ඇළුම් කළ අපේ තාත්තා ද අප හැර නික්ම ගොසිනි. එහෙත් ගීතය අද ද අප අතර ජීවත් වෙයි. ඒ ගෙවා නිමා කළ යුගය නැවත ජීවත් කරවයි. හෙට අපේ පරම්පරාව නික්ම ගිය පසු ද එය එසේම වනු ඇත.